Last Update  :  2024-04-25 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාවික හමුදාව පෙරමුණ අල්ලයි

නාවික හමුදාව පෙරමුණ අල්ලයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කණ්ඩායම සහ කළුතර බ්ලූස්ටාර්ස් පිල අතර මෙතෙක් දෝලනය වෙමින් තිබූ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ පළමු වතාවට හිමිකර ගැනීමට නාවික හමුදා (සී - හෝක්ස්) කණ්ඩායම මේ වන විට සමත්ව සිටියි. මෙම තරගාවලිය මේ වන විට අවසන් භාගයට පැමිණ තිබෙන අතර අද (8) තරගාවලියේ 16 වැනි වටයේ තරග පැවැත්වීමට නියමිතව තිබිණ. 17 වැනි වටයේ තරග මෙම මස 12 සහ 13 දෙදින පැවැත්වීමට නියමිත අතර එයින් තරගාවලිය නිමාවට පත්වේ.

නාවික හමුදාව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අල්ලා ගත් අළුත්ම කණ්ඩායම බවට පත්ව සිටින්නේ තරග 14 ක දී නවයක ජයග්‍රහණ හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 30 ක් රැස්කරමිනි. බ්ලූස්ටාර්ස් ක්‍රීඩකයෝ අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ අල්ලාගෙන සිටියත් පසුගිය තරග තුනකදී ලද පරාජය හමුවේ මේ වන විට එහි තෙවැනි ස්ථානය දක්වා පහළට වැටී සිටියි.

මේ වන විට මීගමුව යූත් පිලට එරෙහිව පැවැති තරගය පමණක් පරාජය වී සිටින පසුගිය තෙවතාවක්ම පිටපිටම මෙම තරගාවලියේ ශූරතාව දිනා සිටින ප්‍රබල කොළඹ ක්‍රීඩා සමාජය තරග අටක් ජය ගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 29 ක් රැස්කරමිනි.

කෙසේ වුවත් තෙවැනි ස්ථානයේ පසුවන බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමද ඔවුන් හා සම ලකුණු (29) තත්ත්වයක පසුවන්නේ තරග නවයක ජයග්‍රහණ වාර්තා කරමිනි. තරගාවලියේ තවත් ප්‍රබලතම කණ්ඩායමක් ලෙස කල් ගෙවන යුද හමුදා ක්‍රීඩා සමාජය සිව් වැනි ස්ථානයේ පසුවන්නේ තරග අටක ජය තහවුරු කරගනිමින් ප්‍රසාද ලකුණු 28 ක් ලබා ගනිමිනි.

මේ අතර තරගාවලියේ මෙතෙක් වූ විශේෂිතම සිදුවීම වන්නේ රිනවුන් පිලට එරෙහිව පැවැති තරගයේ අතරමග විනිසුරුට විරෝධය පා පිටියෙන් ඉවත්ව ගිය බව කියන බේරුවල සුපර්සන් කණ්ඩායම එතැන් සිට තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය හමුවේ එහි කණ්ඩායම් සංඛ්‍යාව 17 ක් දක්වා අඩු විය. සුපර්සන් පිල තරගාවලියෙන් ඉවත් කිරීම හේතුවෙන් සුපර්සන් කණ්ඩායම හා තරග වැදී හමුවේ ලබාගත් ප්‍රතිඵල සහ ප්‍රසාද ලකුණු සියල්ලද අවලංගු කර සමස්ත ප්‍රතිඵලය සැලකීමට තීරණය වී තිබේ.

මේ අතර තරගාවලියෙන් ඉවත් කළ සුපර්සන් කණ්ඩායමේ අභියාචනය අද (8) පස්වරුවේදී පාපන්දු සම්මේලනයේ තරග කමිටුව විසින් සලකා බැලීමට නියමිතව තිබුණි.

පාපන්දු සම්මේලනයේ තරග කමිටුවේ සභාපති සහරාන් සිංහවංශ මහතා පැවැසුවේ මෙම 12 සහ 13 දෙදින පැවැත්වෙන තරගාවලියේ අවසන් අදියර පාපන්දු සම්මේලනයේ දැඩි නිරීක්ෂණයට ලක් කරන බවයි.

තීරණාත්මක අවසන් අදියරේ ඇතැම් තරගවල තීරණය උවමනාවෙන් වෙනස් කළ හැකි තත්ත්වයක් මත එම තරග පළපුරුදු තරග කොමසාරිස්වරුන්ගේ හා තීරකවරුන් යොදවා දැඩි නිරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. තරග පාවාදීමේ චෝදනාවලට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට තරගාවලිය ජීවිත කාලයටම තහනම් වන බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

පසුගිය ජනවාරි 3 වැනිදා නිකුත්වූ ප්‍රසාද ලකුණු සටහනට අනුව එතෙක් තරගාවලියේ අවසන් ස්ථානයේ රැඳී සිටි මීගමුව යූත් ක්‍රීඩා සමාජයට මේ වන විටත් එළැඹෙන තරගාවලිය අහිමිව ගොස් තිබේ. එහෙත් ඔවුන් මෙතෙක් තරගාවලියේ වාර්තා කළ එකම ජයග්‍රහණය ප්‍රබල කොළඹ කණ්ඩායමට එරෙහිව ලබා තිබීම කැපී පෙනේ.


අද (9) පැවැත්වීමට නියමිත 16 වැනි වටයේ තරග
● කොළඹ සහ යුද හමුදාව අතර සුගතදාස පිටියේදී
● රත්නම් සහ අළුත්ගම රෙඞ්ස්ටාර් අතර සුගතදාස පිටියේදී
● අනුරාධපුරය සොලිඞ් සහ සෝන්ඩර්ස් අතර අනුරාධපුරය බන්ධනාගාර පිටියේදී
● මාතර සිටි සහ නාවික හමුදාව අතර මාතර පාපන්දු පිටියේදී
● නාවලපිටිය අප්කන්ටි්‍ර ලයන්ස් සහ ගුවන් හමුදාව අතර නාවලපිටිය ජයතිලක පිටියේදී
● කුරුණෑගල පෙලිකන්ස් සහ කළුතර බ්ලූස්ටාර්ස් අතර කුරුණෑගල ශාන්ත ආනා විදුහල් පිටියේදී
● ජාවාලේන් සහ වෙන්නප්පුව නිව්යංග්ස් අතර සිටි පාපන්දු ලීග පිටියේදී
● රිනවුන් සහ ගම්පොළ ක්‍රිස්ටල් පැලස් අතර කැලණිය පාපන්දු පිටියේදී


සුගතදාස පිටියේදීපැවැත්වෙන තරග දෙකින් පළමු තරගය රාත්‍රී 7 ට ද දෙවැනි තරගය රාත්‍රී 9 ට ද ආරම්භ වන අතර සෙසු සියලු තරග පස්වරු 3.30 ට ආරම්භ වේ.

 


අදහස් (0)

නාවික හමුදාව පෙරමුණ අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.