Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දකුණු ආසියානු ක්‍රීඩා දෙසැම්බර් 1 දා සිට

දකුණු ආසියානු ක්‍රීඩා දෙසැම්බර් 1 දා සිට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවස්ථා දෙකකදීම කල් ගිය 13 වෙනි දකුණු ආසියානු (සාෆ්) ක්‍රීඩා උළෙල ලබන දෙසැම්බර් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නේපාලයේ ‘කත්මන්දු’ නුවරදී පැවැත්වීමට බැංකොක් නුවරදී රැස්වූ දකුණු ආසියානු ක්‍රීඩා සභාව තීරණය කළේය.

එම රැස්වීමට සහභාගිවූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා බැංකොක් නුවර සිට ‘ලංකාදීප’යට පැවසුවේ 13 වෙනි සාෆ් ක්‍රීඩා උළෙල නේපාලයේදී පැවැත්වීමට පෙරේදා තහවුරු වූ බවයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඉදිරි දින කීපයේදී ක්‍රීඩා ඇමැතිවරයා හා ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට කටයුතු කරන බවද සුබ්‍රමනියම් මහතා පැවසීය.

ඒ සඳහා ජාතික පුහුණු සංචිත වහාම ආරම්භ කිරීම සඳහා එහි ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

බැංකොක් නුවර ‘ඉන්ටර්කොන්ටිනල්’ හෝටලයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා සභාවේ විධායක රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා හැරෙන්නට එහි ලේකම් මැක්ස්වෙල් සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල, නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්‍ෂ අයි.පී. විජේරත්න යන මහත්වරු සහභාගි වූහ.

මෙවර නේපාලයේ දී සාෆ් ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී කත්මන්ඩු නුවරට ආසන්නයේ පිහිටි ‘ෆොත්රා’ යන නගරයේදී ද ක්‍රීඩා ඉසව් කීපයක් පැවැත්වීමට නියමිතය.

මේ වනවිට විස්සයි-20 ක්‍රිකට්, ‘පැරෂුට්’ යන ක්‍රීඩා ඉසව් ඇතුළු ක්‍රීඩා ඉසව් 27ක් සාෆ් ක්‍රීඩා උළෙල සඳහා නිර්දේශ වී ඇත. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නේ ලබන මැයි මාසයේදී නැවත රැස්වන දකුණු ආසියානු ක්‍රීඩා සභාව විසිනි.

කෙසේ වුවත් මලල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, පිහිනුම්, බර ඉසිලීම, මල්ලව පොර, ජූඩෝ, ටයිකොන්ඩෝ, කරාටේ, වුෂු, වොලිබෝල්, පාපැදි යන ක්‍රීඩා ඉසව් මෙවර සාෆ් ක්‍රීඩා උළෙලේදී පැවැත්වීමට නියමිතව බව තහවුරු කර තිබේ.

ඒ අතර පාපැදි කාන්තා හා පිරිමි කිලෝමීටර 40 හා කිලෝමීටර 120 ඇතුළු මාර්ග ධාවන තරග හැරෙන්නට අලුතින් මවුන්ටන් කාන්තා හා පාපැදි තරග ඉසව් දෙකක් පැවැත්වීමට නිර්දේශ වී තිබේ.

1989 ආරම්භක ක්‍රීඩා උළෙලෙන් පසුව 1999 දීත් නේපාලයේදී සාෆ් ක්‍රීඩා උළෙලක් පවත්වා තිබේ. මෙම ක්‍රීඩා උළෙල පළමුව 2019 මාර්තු 9 සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබියදී එය නැවත පසුගිය සැප්තැම්බර් මාසයට අත්හිටුවනු ලැබීය. කෙසේ වුවත් මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වෙන අලුත්ම දින වකවානු සම්බන්ධයෙන් කතා බහක් ඇතිවී තිබෙන්නේ දෙසැම්බර් මාසය නේපාලයට සීත කාලගුණික තත්ත්වයක් බලපාන බැවිණි. විශේෂයෙන්ම එම තත්ත්වය මලල ක්‍රීඩා තරගාවලිය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇතැයි පැවසේ.

අවසන් වරට 12 වැනි සාෆ් ක්‍රීඩා උළෙල ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්තයක් වන ඇසැම්හි ගුවාන්හී දි පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක් දිනා දෙවෙනි ස්ථානයට පත්විය. සත්කාරක ඉන්දියාව රන් පදක්කම් 188 ක් දිනාගැනීමෙන් එම ක්‍රීඩා උළෙලේදීත් කිසිම සටනකින් තොරව ජයග්‍රාහකයා බවට පත් විය.

මේ අතර නේපාල රජය මේ වනවිට ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරීම නිල වශයෙන් තහවුරු කර තිබෙන බැවින් පෙරේදා ‘බැංකොක්’ නුවරදී දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය ඒ සඳහා දින ගොනු කිරීම සිදු කළ බවද වැඩිදුරටත් වාර්තාවේ.

 


අදහස් (0)

දකුණු ආසියානු ක්‍රීඩා දෙසැම්බර් 1 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.