Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් 7 දා ඇරඹෙයි

ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් 7 දා ඇරඹෙයි

නාමල් පතිරගේ - 2021 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඩ් උවදුර හමුවේ වසරකට ආසන්න කාලයක් ඇණහිට තිබූ ජාතික දැල්පන්දු සංචිතයේ මූලික පුහුණුවීම් ලබන බ්‍රහස්පතින්දා (7) ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ. මෙම සංචිතය  සඳහා ක්‍රීඩිකාවන් 60 දෙනකුට ආසන්න පිරිසක් කැඳවීම් ලබා සිටිති.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකයේ අනුමැතිය ලද ක්‍රීඩිකාවන් පිරිසක් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කරන බවයි. කෙසේ වුවත් ජාතික සංචිතයේ දුර බැහැර සිටින ක්‍රීඩිකාවන්ගේ පහසුව සඳහා කුරුණෑගලදී හා කළුතරදී පුහුණුවීම් පවත්වාගෙන යාමට දැල්පන්දු සම්මේලනය අනුමැතිය දී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ ලේකම් සකුන්තලා විජේතුංග මහත්මියගේ හා කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මියගේ සම්බන්ධීකරණයෙන් එම පළාත් දෙකේදී ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් පිරිසක් වෙනුවෙන් පුහුණුවීම් පවත්වාගෙන යාමට නියමිතය.

තායිලන්තයේදී ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු ගෘහස්ථ හා සටන් කලා (ආත්මාරක්ෂක ක්‍රීඩා) උළෙල සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පළමු වරට සහභාගි කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අපේක්ෂා කරයි. ක්‍රීඩා ඉසව් 29 කින් සමන්විත හය වැනි ආසියානු ගෘහස්ථ හා සටන් කලා ක්‍රීඩා උළෙල ලබන මැයි 21 දා සිට 31 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් හා ‘වොන්බුරි’ යන නගරවලදී පැවැත්වීමට නියමිතය.

වසර 2021 සඳහා තරග හා වැඩසටහන් දින දසුනක් සූදානම් කර ඇති දැල්පන්දු සම්මේලනය ඒ අනුව නව 2021 වසරේ කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
සිංගප්පූරුවේදී පැවැත්වෙන සිව්කොන් දැල්පන්දු තරගාවලිය හැරෙන්නට මෙම වසරේදී පින්ලන්තයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලියද වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වී ඇත්තේ ආසියානු ශූරයන් ලෙස වසර 2019 ජුලි මාසයේ එංගලන්තයේ ලිවර්පූල් හිදී පැවැති 15 වැනි ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේදීය. එහිදී රටවල් 16කින් ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානයට පත්විය.

එහිදී ශ්‍රී ලංකාව ලැබූ තරග ජයග්‍රහණ දෙකම සිංගප්පූරුව පරාජය කිරීමෙන් ලැබිය. ඒ මූලික වටයේදී හා ශ්‍රේණිගත තරගයකදීය.

 


අදහස් (0)

ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් 7 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.