ලක්ෂ 53 ක මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ
කත්මණ්ඩු නුවර දී පැවති සාග් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම් සූදානම් කිරීමේ දී රුපියල් ලක්ෂ 53 කට ආසන්න මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට ලැබුණු පැමිණිල්ලක් මත ඇමතිවරයාගේ නියමයෙන් මෙම පොලිස් විමර්ශනය ආරම්භ කර තිබේ.
පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට ක්‍රීඩා අමාත්‍යාංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වාගෙන යයි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු ඇතුළු එහි නිලධාරීන් කීපදෙනෙකු මේ සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.
නේපාලයේ කත්මණ්ඩු නුවර දී 13 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්වුණේ 2019 දෙසැම්බර් මාසයේ දීය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කාන්තා හා පිරිමි පැසිපන්දු කණ්ඩායම් දෙකක් සහභාගි විය. ශ්‍රී ලංකාව එහිදී රිදී පදක්කම් දෙකක් හිමිකර ගත්තේය.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් සූදානම් කිරීමේ දී ඉදිරිපත් කර තිබෙන බව කියන ඇතැම් වියදම් බිල්පත් ආශ්‍රිතයෙන් ගැටලු මතුවීම මෙම පොලිස් විමර්ශනයට ආසන්නතම හේතුව වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
සාග් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් පෙර පුහුණුවීම් කිරීමේ දී ක්‍රීඩාංගණ නොමිලේ ලැබී තිබෙන බව සඳහන් වුවත් ඒ සඳහාද වියදම් බිල්පත් ඉදිරිපත්ව තිබූ බව මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවල දැක්වේ. ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීමේදීත් එවැනි මතභේදාත්මක බිල්පත් ඉදිරිපත් කර තිබූ බව වැඩිදුරටත් වාර්තාවේ.