Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිව්වැනි තරගයත් අතහැර දමයි

සිව්වැනි තරගයත් අතහැර දමයි

editorial - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

පස්වරු 3.00 

දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරගයත් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. පස්වරු 3.00 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ මාරියස් එරැස්මස් සහ පෝල් රයිෆල් යන මහත්වරු තීරණයක් ගැනීමට නියමිත වේලාවට පැයකටත් කලින් තරගය අතහැර දැමූහ. 

මෙම තරගය අතහැර දැමීම නිසා ප්‍රසාද ලකුණු එකක් බැගින් දෙපිලටම හිමිවෙයි. ඒ අනුව නවසීලන්තය තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගන්නා අතරම ඉන්දියාව 3 වැනි ස්ථානට පත්විය. 

මේ වන විට ලෝක කුෂලාන තරගාවලියේ තරග 18 ක් පවත්වා අවසන්ව ඇති අතර තරග 4 ක් වර්ෂාවට සේදීගොස් තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 4 කට වරක් සංවිධානය කරනු ලබන ලෝකයේ ප්‍රමුඛතම ක්‍රිකට් තරගාවලියේදී තරග 4 ක් වැස්සට සේදී ගිය පළමු අවස්ථාව මෙයයි. 

-----------------------------------------------------------------------------------------------------------------

ඉන්දියාව අවාසිදායක තත්ත්වයක

පස්වරු 2.30 

තරගය නිල වශයෙන් අතහැර දැමීමට තවත් ඇත්තේ පැය දෙකක පමණ කාලයකි. තවමත් වර්ෂාව වැටෙමින් පවතින අතර තරගය ආරම්භ කිරීමේ සේයාවක් හෝ දැකගන්නට නැත. එසේ වුවත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක්ම මේ වන විටත් වර්ෂාවට සේදීගොස් ඇති බැවින් මෙම තරගය ඕවර 20 කට සීමා කරමින් හෝ පැවැත්වීමට තරග සංවිධායකයන් උත්සාහ කළ හොත් එය අරුමයක් නොවේ. 

යම් හෙයකින් මෙම තරගය අතහැර දැමීමට සිදුවුවහොත් එහි අවාසිය වඩාත් ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි. මක්නිසාද යත් නවසීලන්ත පිල මෙතෙක් සහභාගි වූ තරග 4 න් 3 ක් ජයලබා, අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 7 ක් හිමිකර ගන්නා බැවිනි. ඉන්දියාවට එරෙහිව ලබාගන්නා ලකුණක වාසිය නිසා නවසීලන්ත පිල අවසන් පූර්ව වටයට ආසන්න වෙයි. 

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථාන දෙකක් වෙනුවෙන් නවසීලන්තයට අවශ්‍ය වන්නේ ඉතිරි තරග 5 න් තුනක ජය පමණි. 

එහෙත් අනෙක් පැත්තෙන් බලන කල්හි නවසීලන්තය හමුවේ ප්‍රසාද ලකුණක් අහිමි කරගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව මහත් සේ නොසතුටට පත්වනු ඇත. ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් වරට පැවැති එක්දින තරග 7 න් 6 කම ජය හිමිවී ඇත්තේ ඉන්දියාවටයි. 

--------------------------------------------------------------------------------------------------------------------------

තවත් සෝදාපාළුවක් අතළඟ 

පස්වරු 1.00

ඊයේ රාත්‍රියේ මෙන්ම අද උදෑසනත් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කෙරුණු තරගය ආරම්භ කිරීමේ ලකුණක් තවමත් පෙනෙන්නට නැත. ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (13 වැනිදා) නොටිංහැම්හි ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගයට තවමත් වර්ෂාවෙන් බාධා කෙරෙමින් පවතී.

පස්වරු 1.00 ට මඳ වේලාවක් තිබියදී වර්ෂව නතර වූ හෙයින් තණතීරු ආවරණ ඉවත් කර ක්‍රීඩාංගණය වියළා ගැනීමට සේවකයන් උත්සාහ කළද නැවතත් ඉතාම තද වර්ෂාවක් ඇතිවිය. දැනට පවතින තත්ත්වය අනුව මෙම තරගයත් සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී යනු ඇතැයි බිය පළවී ඇති බව ටේ‍රන්ට්බි්‍රජ් නුවරින් වාර්තා වේ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා තරග තුනක් සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගොස් තිබේ. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය 

දකුණු අප්‍රිකාව සහ බටහිර කොදෙව් පිල අතර තරගය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

----------------------------------------------------------------------------------------------------------------------------------

වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවෙයි

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස ඉන්දියාව සහ නවසීලන්තය අතර නොටින්හැම්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන තරගයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ආරම්භය පමාවෙයි. 

ඉන්දීය සංචිතය
විරාට් කෝලී (නායක), රෝහීත් ශර්මා, ජස්ප්‍රීට් බුම්රා, යුස්වේන්ද්‍ර චහල්, ශීකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, රවින්ද්‍ර ජඬේජා, කේදර් ජාදව්, ඩිනේෂ් කාර්තික්, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් ශාමී, හර්දික් පාණ්ඩ්‍යා, ලෝකේෂ් රාහුල්, විජේ ශංකර්.

නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලන්ඩල්, ටේ‍රන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රෑන්ඩූම්, ලෝකී ෆර්ගියුසන්, මාර්ටින් ගප්ටිල්, මැතිව් හෙන්රි, ටොම් ලැතැම්, කොලින් මුන්රෝ, ජේම්ස් නීෂාම්, හෙන්රි නිකල්ස්, මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධී, ටිම් සෝතී, රොස් ටේලර්.

-----------------------------------------------------------------------------------------------------------------------------------

ඉන්දියාව හමුවේ අසීරු කඩුල්ලක්

 

උදෑසන 9.21 යි

ලෝක කුසලන තරගාවලියේ ආරම්භයේ සිටම අසීරු තරග වලට මුහුණ දෙමින් සිටින නවසීලන්තය අද (13 වැනිදා) තවත් කඩුල්ලක් පැනීමට සූදානම් වෙයි. මේ  වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය අද නොටිංහැම්ෂයර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.  

සංසන්දනාත්මකව බැලූ කල්හි තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන නොටිංහැම්ෂයර් ක්‍රීඩාංගණයේදී වැඩිපුර හයේ පහර සංඛ්‍යාවක් බලාපොරොත්තු විය හැක්කේ ඉන්දීය පිලේ මෙන්ම නවසීලන්ත කණ්ඩායමේත් හොඳ ප්‍රහාරකයන් සිටින බැවිනි 

කෙසේ වෙතත් අද තරගයේදී ඉන්දීය පිලට ෂිකාර් ධවාන්ගේ සේවය අහිමි වී තිබේ. සති දෙකක පමණ කාලයක් ක්‍රීඩා කළ නොහැකි ෂිකාර් ධවාන් වෙනුවට, අවශ්‍ය වුවහොත් කණ්ඩායමට කැඳවීම සඳහා, රිෂාබ් පන්ට් එංගලන්තයට කැඳවා ඇතත් අද තරගයේදී රිෂාබ් ඉන්දීය පිල වෙනුවෙන් ක්‍රීඩා නොකරයි. 

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් සිටින ඉන්දීය කණ්ඩායම සහභාගි වූ තරග දෙකම පහසුවෙන් ජයගැනීමට සමත් වූයේය. ඉන්දියානුවන් අද සොයා යන්නේ තමන්ගේ තුන්වැනි ජයග්‍රහණයයි. 

“ෂිකාර් වගේ වටිනා ක්‍රීඩකයකුට ආබාධයක් ඇතිවූ පමණින් ඔහු ගෙදර යවන්න අපි සූදානම් නෑ. අපි ටික දවසක් එයාව තියාගෙන බලනවා” යයි ඉන්දීය පුහුණු කණ්ඩායමේ සාමාජික සන්ජේ බන්ගාර පැවසීය. 

අද තරගයේදී ෂිකාර් ධවාන්ගේ ස්ථානයට ලෝකේෂ් රාහුල් පිවිසෙනු ඇත. රාහුල් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පැමිණීම නිසා මැද පෙළ හිදැසක් ඇතිවන බැවින් තවත් පිතිකරුවකුට කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාවක් තිබේ. 

මේ අතර නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන කණ්ඩායම කවුරුන්ද යන්න තවමත් අනාවැකි කිව නොහැකි බවයි. 

“අපි මෑත කාලයේදී ඉන්දියාව සමග කීප වතාවක්ම තරග කළා. ඇතැම් අවස්ථාවල සාර්ථකත් වුණා....ඔවුන් එක්ක ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන් හමුවේ සාර්ථක වෙන්න අපටත් අවස්ථාව තියෙනවා” යයිද රොස් ටේලර් පැවසීය. 

අද තරගයේදී ක්‍රීඩා කළ හැකි යයි අනුමාන කෙරෙන ඉන්දීය කණ්ඩායම
රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, දිනේෂ් කාර්තික්, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, කුල්දිප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ යුෂ්වේන්ද්‍ර චාහල්

 

 


අදහස් (0)

සිව්වැනි තරගයත් අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.