Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ශානුක අරවින්ද - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල සහ නේපාල යොවුන් පිල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය.

නේපාල ඉනිමේ ඕවර 9 ක් යැවීමෙන් අනතුරුව වැස්සෙන් බාධා පැමිණීම නිසා තරගය තාවකාලිකව නතර කළ අතර නැවත තරගය ආරම්භ කිරිමේදී එක් ඉනිමක් ඕවර 42 කට සීමා කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. එම ඕවර 42 තුළදී නේපාල යොවුන් පිල ලබාගත් ලකුණු සංඛ්‍යාව 159 ක් වුවත්, ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කයද ලකුණු 159 ක්ම විය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 33.4 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කයක පසුකර ගිය අතර අවිෂ්ක තරිඳු හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 25 ක්ද, චමිඳු විජේසිංහ නොදැවී එක් ලකුණුක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී නායක නිපුන් ධනංජය ලකුණු 18 කට දැවී ගියේ කමල් සිංගේ පන්දුවක් හමුවේ අසීෆ් ෂෙයික් අතට උඩ පන්දුවක් දෙමිනි. අවිෂ්ක සහ නිපුන් එක් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ගොඩනැඟූ සම්බන්ධතාව ලකුණු 40 කි.

මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් වන විට ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ මුල් කඩුලු දෙකක් බිඳවැටණ. එතැන් පටන් අහන් වික්‍රමසිංහ (30) සමග එක්වූ ආරම්භක පිතිකරු කමිල් මිෂාර (55), තෙවැනි කඩුල්ල වෙනුවන් පන්දු 62 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 62 කට මුහුණදුන් මිෂාර, හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර පන්දු 36 කදී වාර්තා වූ වික්‍රමසිංහගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල යොවුන් පිලට දිල්ෂාන් මධුෂංක සහ නවෝද් පරණවිතාන ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නියමිත ඕවර 42 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159 ක් පමණි. එහිදී මධුෂංක ලකුණු 23 කට කඩුලු 3 ක්ද, පරණවිතාන ලකුණු 26 කට කඩුලු 3 ක්ද දවාගනිමින් නේපාල ඉනිම සුනුවිසුණු කර දැමූහ.
 
නේපාල ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 24 ක් තුළ බිඳ දැමීමට මධුෂංක සමත් වුවද, ආරම්භක පිතිකරු රිට් ගෞතම් (54) සහ නායක රෝහිත් පෞඩෙල් (47) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවන් පන්දු 136 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එහිදී පන්දු 86 කට මුහුණදුන් ගෞතම් හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.

මධුෂංකගේ සහායද ඇතිව රීට් ගෞදතම් දවාගත් නවෝද් පරණවිතාන, නේපාල ඉනිමේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබූවේය. ඉන් නොනැවතුන පරණවිතාන, යළිත් ක්‍රියත්මක වෙමින් භීම් ශාර්කි (1) සහ කෞෂාල් මල්ලා (2) ද අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.