Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දඩයමකට සැරසෙති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දඩයමකට සැරසෙති

editorial - 2020 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක් ටෙස්ට් තරගයක් හෝ පරාජයට පත්වී නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම, සිය අපරාජිත බව රැක ගැනීමේ අරමුණින් හෙට (19 වැනිදා) හරාරේහිදී වසර දෙකහමාරකට පමණ පසුව යළිත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.

1994 වසරේ සිට මේ දක්වා දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරග 18 ක් 13 ක්ම ජයගෙන ඇති ශ්‍රී ලංකාව, සෙසු තරග 5 ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්වී තිබේ. කෙසේ වුවත් ඒ අතරින් සිම්බාබ්වේහිදී පැවැති ටෙස්ට් තරග 10 න් ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 5 ක් පමණකි. ජය පැරදුමෙන් තෙරව නිමාවට පත්වූ තරග 5 ම සිම්බාබ්වේහිදී පැවැති තරග වීමද සුවිශේෂී සිදුවීමකි.

එවන් තත්වයක් මත හෙට දිනයේදී ආරම්භ වන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට මෙන්ම සිම්බාව්වේ කණ්ඩායමටද ඉතාමත් තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ අන්තර් ජාතික ක්‍රිකට් සභාව මගින් සිම්බාව්වේ කණ්ඩායමට එරෙහිව පණවනු ලැබ තිබූ මාස 3 ක ජාත්‍යන්තර තරග තහනම අවසන් වීමෙන් අනතුරව ඔවුන් සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙය වීම හේතුවෙනි.

“දිගින් දිගටම ක්‍රීඩා කරනවා වගේ නෙමෙයි. ටෙස්ට් තරග දෙකක් අතර තියෙන කාල සීමාව වැඩි වුණාම ඊට අනුගත වෙන්න ටිකක් අපහසුයි.” යැයි සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රේගිස් චකබ්වා පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සිය රට තුළදී නැවතත් ටෙස්ට් තරගයට සහභාගි වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා ඇතුළු කණ්ඩායම මහත් සතුටට පත්වන බවයි.

අවසන් වරට 2018 වසරේ නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් තරගාවලියකට සහභාගි වී නොමැති වුවත්, එම තරගාවලිය ඔවුන් නිමා කළේ තරග 1-1 ක් ලෙස බංග්ලාදේශය සමග සම තත්වයට පත්වෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වන්නේ පාකිස්තානය හමුවේ පාකිස්තානයේදී ලද තරග 1-0 ක පරාජයකින් අනතුරුවය. කෙසේ වුවත් ඉන් පෙර දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් වාර්තා කිරීමට මෙන්ම නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලිය සම තත්වයට පත්කරගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පාකිස්තාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගාවලියට එක්වන අතර එහිදී ආබාධයකට ලක්ව සිටි ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් නැවතත් සංචිතයට ඇතුළත්ව සිටියි. ඔහුගේ පැමිණීමත් සමග යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට සංචිතයේ ස්ථානයක් අහිමිවී ඇත.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගායේදී නොදැවී ලකුණු 153 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය කුසල් පෙරේරාටද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමිවී නොමැත. පාකිස්තාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයටද ඔහු ඇතුළත්ව සිටි නමුත් එහිදී ඔහුට එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ.

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයන් 5 දෙනෙක්ද ඇතුළත්ව සිටින සිම්බාබ්වේ සංචිතයේ නායකත්වය ශේන් විලියම්ස්ට හිමිව ඇති අතර වසරකට පමණ පසුව බ්‍රෙන්ඩන් ටේලර්, ක්‍රෙග් එර්වින්, සිකන්දර් රාසා, කයිල් ජාවේස් සහ රේගිස් චකබ්වාද යළිත් සංචිතයට ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල්


සිම්බාබ්වේ සංචිතය
ශේන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, ක්‍රෙග් එර්වින්, කයිල් ජාර්වේස්, කෙවින් කසුසා, ටිමිකැන් මරුමා, ප්‍රින්ස් මස්වවුරේ, බ්‍රයන් මුඞ්සිගන්යබා, කර්ල් මුම්බා, අයින්සිලි ඩොලුවා, වික්ටර් යයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඞ් ටිරිපානෝ සහ චාල්ටන් ෂූමා

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දඩයමකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.