Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වසර 3 කට පසුව බ්‍රාවෝ කොදෙව් විස්සයි20 පිලට

වසර 3 කට පසුව බ්‍රාවෝ කොදෙව් විස්සයි20 පිලට

editorial - 2020 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් මාසයේදී යළිත් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වූ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ, අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පාකිස්තානයට එරෙහිව 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ බ්‍රාවෝ, ඉන් වසර 2 කට පසුව එනම් 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කළේය. කෙසේ වුවත් ඉකුත් (2019) දෙසැම්බර් මාසයේදී සිය සමුගැනීම පසෙකලා යළිත් ජාත්‍යන්තර තරග බිමට අවතීරණ වීමට තමා සූදානම් බව බ්‍රාවෝ ප්‍රකාශ කළේය.

“විස්සයි20 තරගවල අවසන් ඕවර කිහිපය යවන්න බ්‍රාවෝ හුඟක් දක්ෂයි. ලොව වටා පැවැත්වෙන විස්සයි20 ලීග් තරගාවලි වලට සහභාගි වෙමින් ඔහු එය ඔප්පු කරලා තියෙනවා. මේ වෙලාවේ අපිට ඔහුගේ අත්දැකීම් ඉතා වැදගත්. ඔහුට පුලුවන් උපදේශකයෙක් විධියටත් ඒ අත්දැකීම් කණ්ඩායමේ අනෙක් පන්දු යවන්නන් සමග බෙදාගන්න.” යැයි බ්‍රාවෝ යළිත් ජාතික කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් කොදෙව් තේරීම් කමිටුවේ සාමාජික රොජර් හාපර් මහතා කියා සිටියේය.

බ්‍රාවෝට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක රෝමන් පවෙල්ද කළකට පසුව යළිත් කොදෙව් කණ්ඩායමට කැඳවා සිටින අතර පසුගිය කාල වකවානුව තුළ දේශීය තරගවලදී දැක්වූ දස්කම් පදනම් කරගනිම්න් ඔහු යළිත් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. අවසන් වරට සහභාගි වූ ‘කොලොනිකල් මෙඩිකල් සුපර්50 කුසලාන’ තරගාවලියේදී ශතක දෙකක් සහ ලකුණු 96 ක් රැස්කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් වී ඇත.

මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරග 66 කට සහභාගි වී ඇති බ්‍රාවෝ ලකුණු 1142 ක් රැස්කරගෙන් ඇත්තේ අර්ධ ශතක 4 ක් සමගිනි. එහිදී කඩුලු 52 ක් දවාගැනීමටද ඔහු සමත්වී ඇත. විස්සයි20 ජාත්‍යන්තර තරග 23 කට ක්‍රීඩා කළ ඇති පවෙල් එහිදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 331 ක් රැස්කරමින්, කඩුලු 2 ක්ද දවාගෙන තිබේ.

විවිධ ආබාධ තත්වයන්ට ගොදුරු වී සිටීම හේතුවෙන් ෆැබියන් ඇලන් සහ කීමෝ පෝල් මෙම තරගාවලියේ තේරීම් කටයුතු සඳහා සැලකිල්ලට ගෙන නොමැති අතර දිගින් දිගටම ක්‍රීඩා කළ හිටපු නායක ජේසන් හෝල්ඩර්ට මෙම තරගාවලියේදී විවේකයක් ලබාදීමටද තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර පළමු තරගය අනිද්දා (15 වැනිදා) ග්‍රෙනේඩාහිදී පැවැත්වෙන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙලින් 18 වැනිදා සහ 19 වැනිදා ශාන්ත කිට්ස්හිදී පැවැත්වීමට නියමිතය.

කොදෙව් විස්සයි20 සංචිතය
කිරන් පොලාඩ් (නායක), ඩ්වේන් බ්‍රාවෝ, ශෙල්ඩන් කොට්්‍රල්, ශිම්රන් හැට්මෙයර්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, ඛැරි පෙයිරි, නිකලස් පූරන්, රෝමන් පවෙල්, ශර්ෆේන් රදර්ෆෝඩ්, ලෙන්ඩල් සිමන්ස්, හේඩන් වෝල්ෂ් සහ කෙස්රි විලියම්ස්

-036

 


අදහස් (0)

වසර 3 කට පසුව බ්‍රාවෝ කොදෙව් විස්සයි20 පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.