Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මාලිංග මග එනවා වුණත්....

මාලිංග මග එනවා වුණත්....

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොහාන් භාසුර, ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ සිට...

 

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාස පොතේ නව පිටුවක් පෙරළීමේ අවස්ථාව දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට විවෘත කරමින් දොළොස්වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (15) පැවැත්වේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙපිලම සහභාගි පස්වැනි තරගය වන මෙම තරගය (දිවා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල අද (14) පස්වරුවේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි විය. පස්වරු 1.30 වන විටත් ක්‍රීඩාංගණයට මඳ වර්ෂාවක් ඇද හැළෙමින් තිබූ අතර තණතීරුව ප්‍රදේශය ආවරණය කර තිබුණි. පස්වරු 2.00 පමණ වන විට ආවරණ ඉවත් කර ශ්‍රී ලංකා පිල පුහුණුවීම්වල නිරත විය.

පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ ශ්‍රී ලංකාවට ගිය මාලිංග නැවත ඊයේ කණ්ඩායමට එක්වන බවත් ඔහු අද තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පසුව තීරණය කරන බවත්ය. මාලිංග ඊයේ පස්වරු 1.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

දිමුත් මාධ්‍ය හමුවේදී කණ්ඩායමේ සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.  

“නුවන් ප්‍රදීප් පන්දු යැව්වා. ඔහුගේ වේගය ඇතු`ඵ සියලු දේ හොදින් තියෙනවා. නමුත් පන්දු රැකීම තමයි ප්‍රශ්නය. ඕවර 50 ක් පන්දු රකින්න ඕනේ. ඔහුගේ පන්දු රැකීම බලන්න අද අපිට අවස්ථාව තියෙනවා. එහිදී ඔහුට වේදනාවක් තියෙනවාද වගේ දේවල් ගැන සැළකිලිමත් වී තමයි කණ්ඩායමට යොදා ගන්නනේ”
“අවදානමක් අරගෙන ඔහුව මේ තරගයට යොදවාගෙන තරගාවලියේ ඉදිරිය නැති කරගන්නවාද එසේ නැත්නම් විවේකයක් දීලා ඉදිරියට තියා ගන්නවාද කියලා තීරණය කළ යුතුයි”

“මාලිංග පැමිණෙමින් ඉන්නේ. ඔහුගේ පැමිණීමත් එක්ක සමහර විට අපිට හැකි වෙයි නුවන් ප්‍රදීප්ට විවේකයක් දෙන්න. ඔහු 100% ක් සුව නැත්නම් අපිට ඒ අවස්ථාව දෙන්න පුඵවන්”

අද තරගයට සහභාගි වන කණ්ඩායම සහ තණතීරුව පිළිබඳව දිමුත් මෙසේ පැවසීය.

“අවසන් එකොළොස් දෙනා මේ දක්වා තීරණ කර නෑ. වෙනස් තණතීරුවක් තියෙන්නේ. තණකොළ ගොඩක් වැඩියි. මාලි අයියා (ලසිත් මාලිංග) එනකන් ඉන්න ඕනේ. මොකද ඔහුට ක්‍රීඩා කරන්න පුඵවන්ද කියලත් බලන්න වෙනවා”

“අපි ඕස්ට්‍රේලියාවට එරෙහිව පුහුණු තරගයේදී හොඳට ක්‍රීඩා කළා. එහිදී අඩු පාඩු වුණ පොඩි පොඩි දේවල් අපි හදුනාගෙන ඔවුන්ගේ සංයුතියට මුහුණ දෙන්න සැළැස්මක් හදාගෙන තියෙන්නේ. වැස්ස වගේ දේවල් නිසා ඇතැම් විට සැලැස්මේ පොඩි වෙනස්කම් වෙන්න පුඵවන්”

“අපි තරග දෙකයි ක්‍රීඩා කළේ. තරග දෙකකින් පිතිකරුවන් මනින්න අමාරුයි. ඒ නිසා පිතිකරුවන්ගේ වෙනසක් දැනට නෑ. තව අවස්ථා කීපයක් දෙන්නවා. පන්දු යවන්නන් වෙනස් වෙන්නේ තණතීරුවේ ස්භාවය අනුවයි”

“ඇෆ්ගනිස්තානයට එරෙහිව වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ක්‍රීඩා කළේ තණතීරුව සහ ක්‍රීඩාංගණයේ ප්‍රමාණය අනුවයි. එම ක්‍රීඩාංගණයේ හතරේ සීමා ගොඩක් ළඟ නිසා දඟ පන්දු යවන්නන්ට පහසුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබුණා. ඒ නිසා තමයි වේග පන්දු යවන්නෙකු යොදා ගත්තේ. පිතිකරු අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවට තමයි ජීවන්ව ගේන්න සූදානම් වුණේ. නමුත් මෙම තණතීරුවෙත් තණකොළ වැඩියි”

“සමහර විට වේග පන්දු යවන්නන් පහක් යොදා ගන්නත් පු`ඵවන්. මාලිංගගේ පැමිණීමත්, නුවන්ගේ තත්ත්වයත්, අනුව එය තීරණය වෙයි. තණතීරුවේ තණකොළ අඩු කරලා සකස් කළොත් දඟ පන්දු යවන්නෙක් ක්‍රීඩා කරයි. ඒ ජීවන් ද, මිලින්ද ද, කියලා තීරණ කරලා නෑ”

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ කෙටි පන්දු අභියෝගයක්ද යන ප්‍රශ්නයට දිමුත් මෙසේ පිළිතුරු සැපයීය.

“ලෝක කුසලාන තරගාවලියේදී වේග පන්දු යවන්නන්ගේ කෙටි පන්දු සමස්තයක් ලෙස අභියෝගයක් තමයි. ඕවරයකට කෙටි පන්දු දෙකක් යවන්න පුඵවන්නේ. සමහර පිතිකරුවො කෙටි පන්දුවට හොදින් මුහුණ දෙනවා. සමහර පිතිකරුවො කෙටි පන්දුවට දුර්වලයි. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. එයට මුහුණ දීමට අපි සැලසුම් කරලා තියෙනවා” යැයි දිමුත් වැඩි දුරත් පැවසීය.

ඕස්ට්‍රේලියානු පිලේ නායක ඒරන් ෆින්ච් අද පෙරවරුවේ පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ අද තරගයේදී අතිරේක පිතිකරුවකු යොදවනවාද එසේත් නැත්නම් පන්දු යවන්නකු යොදවනවාද යන තීරණය අද පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කිරීමෙන් පසුව ගන්නා බවයි.

“අපි විශේෂඥ පිතිකරුවන් හය දෙනකු සහ නිත්‍ය පන්දු යවන්නන් සිවුදෙනකු සමඟ තරගයට එන්න සූදානමින් ඉන්නවා. පන්දු යවන්නන් සිවුදෙනාට දඟ පන්දු යවන්නෙකුක් ඉන්නවා. අනෙක් ක්‍රීඩකයා පිතිකරුවකුද පන්දු යවන්නකුද කියලා තවම තීරණය කරනෑ. තුන් ඉරියව් ක්‍රීඩකයන් හේතුවෙන් කණ්ඩායම සමබර කිරීමේ හැකියාව ලැබී තිබෙනවා”

“වාසනාවකට අපිට අඛණ්ඩව තරගවලට සහභාගි වීමේ අවස්ථාව ලැබුණා. ඒත් ශ්‍රී ලංකාවට අවාසනාවට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක්. අපි එයට මුහුණ දීමට සූදානම්”

“අපේ කණ්ඩායමේ මැද පෙළ පසුගිය තරගයේදී අසාර්ථක වීම පිළිබඳව දැඩි කණස්සල්ලට පත්වෙලා ඉන්නේ. අවසන් ඕවරවලදී ලකුණු රැස්කිරීම පිළිබඳව මේ වන විට අවදානය යොමු කරලා එය ඉතාමත් ඉක්මනට සකස් කරගැනීමට අවදානය යොමු කළා” යැයි ෆින්ච් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිල මෙම තරගයෙන් ජය ලැබුවහොත් 1996 වසරෙන් පසුව එනම් වසර 23 කට පසුව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියකදී පරාජය කරන පළමු අවස්ථාව වෙයි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගිය 4 වැනිදා දෙවැනි තරගයට සහභාගි වීමෙන් දින 11 කට පසුව මෙම තරගයට සහභාගි වීමට නියමිතය. පාකිස්තානය සහ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වීමට සිටි තරගවලට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා එම තරග අතහැර දැමීමට සිදුවිය.

ආසන්තම ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හතරෙන් තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු හයක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග හතරේදී තරගයක් ජය ලබා, තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වීමෙන් ප්‍රසාද ලකුණු හතරක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය විය.  

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව 1975 වසරේ පළමු ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා අවස්ථා හතකදී තරග කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී පමණක් ජය ලබා තිබේ. ඕස්ට්‍රේලියාව තරග පහක් ජය ලබා ඇති අතර 2011 වසරේ තරගය විසදුමකින් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකාවේදී 1996 වසරේ පළමු වටයේ තරගයට ඕස්ටේ්‍රලියාව සහභාගි නොවීමෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක් හිමිවිය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වසර තුනකට ආසන්න කාලයකට පසුව එක්දින තරග පවත්වා නොමැති අතර දෙරට අතර අවසන් එක්දින තරගය 2016 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේදී පැවැති එම තරගාවලිය ඕස්ටේ්‍රලියාව 4-1 ක් ලෙස ජය ලැබීය.  

දෙරටේම එම අවසන් එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් මේ වන විට විශාල වෙනසකට ලක්ව තිබේ. 2016 දී ඕස්ට්‍රේලියානු පිලට ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, ඒරන් ෆින්ච්, මිචෙල් ස්ටාක් සහ ඇඩම් සම්පා යන ක්‍රීඩකයන් 5දෙනාම අද තරගයට සහභාගි වන ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටිති. එම වසර තුනකට ආසන්න කාලය තුළ ඕස්ට්‍රේලියානු පිල තරුණ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එක්ව සිටිති.

2016 තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් සහ සුරංග ලක්මාල් යන සිවුදෙනා පමණක් අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. 2016 තරගයේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට මෙවර ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිනොවීය.
   
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 96 ක් පවත්වා ඇති අතර ඉන් ඕස්ට්‍රේලියාව තරග 60 ක් ද, ශ්‍රී ලංකාව තරග 32 ක් ද, ජය ලබා ඇති අතර තරග හතරක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.  


ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

ඕස්ට්‍රේලියානු සංචිතය:
ඒරන් ෆින්ච් (නායක), ඬේවිඞ් වෝනර්, උස්මාන් කවාජා, ෂෝන් මාෂ්, ජේසන් බර්හාන්ඩොෆ්, ඇලෙක්ස් කේරි, නේදන් කුල්ටර්නයිල්, පැට් කමින්ස්, නේදන් ලයන්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස් සහ ඇඩම් සම්පා

 


අදහස් (0)

මාලිංග මග එනවා වුණත්....

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.