Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශයට වාර්තාගත ජයක්

බංග්ලාදේශයට වාර්තාගත ජයක්

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය / ශානුක අරවින්ද)

ඕවර 41.3 - බංග්ලාදේශ පිල 322/3

සකීබ් අල් හසන් (නොදැවී 124) සහ ලිටන් දාස් (නොදැවී 94) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ගොඩනැගූ ලකුණු 189 ක වාර්තාගත නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වෙයි.

ජේසන් හෝල්ඩර් යැවූ 41 වැනි ඕවරයේ පළමු සහ සිව්වැනි පන්දු පිළිවෙලින් කවර් සහ පොයින්ට් කළාප හරහා හතරේ සීමාව වෙත යැවූ ලිටන් දාස්, ශැනන් ගේබ්‍රියෙල් යැවූ 42 වැනි ඕවරයේ තෙවැනි පන්දුවටද ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

මෙම ජයග්‍රහණයත් සමග සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 2 ක් එක්කරගත් බංග්ලාදේශය මුලු ලකුණු 5 ක් ලබා ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර මෙම තරගයට පෙර ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවූ කොදෙව් කණ්ඩායමට අද ලැබූ පරාජයෙන් අනතුරුව එහි 8 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවිය.

------------------------------------------------------------------------------------------------------------------------------

සකීබ් වාර්තා පිට වාර්තා තියයි

ඕවර 40 - බංග්ලාදේශ පිල 304/3

ශකීබ් අල් හසන් (නොදැවී 123) සහ ලිටන් දාස් (නොදැවී 78) අතර සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 126 පවතින නොබිඳුණ සම්බන්ධතාව 40 වැනි ඕවරය නිමාවට පත්වන විට ලකුණු 172 ක් දක්වා ඉහළ යයි.

ශැනන් ගේබ්‍රියෙල් යැවූ 37 වැනි ඕවරයේ මුල් පන්දු 3 ටම හයේ පහර එල්ල කළ ලිටන් දාස් එම ඕවරයේදී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 24 ක් ලබාදීමට පුරෝගාමී විය. ශෙල්ඩන් කොටේ‍රල් යැවූ 38 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලබාදුන් උඩ පන්දුව කොටේ‍රල් අතින් ගිළිහී යෑම නිසා දාස්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව හිමිවිය.

මෙම තරගායේදී ලබාගත් ශතකයත් සමග එක්දින තරග 2 කදී පිට පිට ශතක ලබාගත් සිවුවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත් වූ සකීබ්, එදා මෙදා තුර ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ බංග්ලාදේශ පිතිකරුවා ලෙසද වාර්තා අතරට එක්වෙයි.

සකීබ්ට පෙර ශරියර් නෆීස් (2006), මහමදුල්ලා රියාද් (2015) සහ ටමීම් ඉක්බාල් (2015) බංග්ලාදේශය වෙනුවෙන් පිට පිටම ශතක ලබා සිටි අතර මහමදුල්ලා 2015 ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ ලකුණු 365 මේ දක්වා බංග්ලාදෙශ පිතිකරුවකු ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වී තිබිණ.

------------------------------------------------------------------------------------------------------------------------------

සකීබ් - දාස් ජයග්‍රහණය හඹා යති

ඕවර 35 - බංග්ලාදේශ පිල 253/3

පන්දු 83 කදී හතරේ පහර 13 ක් සමගින් සකීබ් අල් හසන් (නොදැවී 101) සිය 9 වැනි එක්දින ශතකය ලබාගනී. එම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම ඔහු ලබාගත් දෙවැනි ශතකයද විය. මෙම ශතකයත් සමගින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණි ඔහු මේ වන විට තරග 4 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 361 කි.  

බංග්ලාදේශ ඉනිමේ 35 වැනි ඕවරය නිමාවට පත්වන විට ලිටන් දාස් (නොදැවී 51) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 ලකුණු 120 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගා සිටින සකීබ්, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ නොපසුබට වෑයමක නිරතව සිටියි.
 
පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් සිය තෙවැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කළ ලිටන් දාස් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම සඳහා සකීබ්ට අනගි සහායක් දෙමින් සිටියි.

------------------------------------------------------------------------------------------------------------------------------

සකීබ් වැඩිම ලකුණු ලභීන්ගේ පෙරමුණට

ඕවර 30 - බංග්ලාදේශ පිල 210/3

ශැනන් ගේබ්‍රියෙල් යැවූ 28 වැනි ඕවරයේදී හතරේ පහර 3 ක් එල්ල කරමින් සකීබ් අල් හසන් (නොදැවී 89) බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරයි. ඒ සමගම ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණටද පැමිණෙයි.

30 වැනි ඕවරය නිමාවන විට ලිටන් දාස් (නොදැවී 21) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 77 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද සකීබ් සමත් වෙයි. මේ වන විට පිට පිටම අර්ධ ශතක දෙකක් සහ ශතකයක් ලබා සිටින මෙම වමත් පිතිකරුවා මෙම තරගයේදී තවත් ශතකයක් පෙනෙන මානයේ සිටියි.

------------------------------------------------------------------------------------------------------------------------------

සකීබ් කණ්ඩායමේ බර කරට ගනී

ඕවර 25 - බංග්ලාදේශ පිල 166/3

පන්දු 40 කදී හතරේ පහර 7 ක් සමගින් සකීබ් අල් (නොදැවී 60) හසන් සිය 45 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ සකීබ් ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර මේ වන විට තරග 4 කදී ශතකයක්ද සමගින් ඔහු ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 320 කි.

ඒ අනුව මෙම තරගයේ 25 ඕවරය නිමාවට පත්වන විට ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටියි. එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ තරග 5 කදී ලකුණු 343 ක් ලබා සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් පමණි.

------------------------------------------------------------------------------------------------------------------------------

ටමීම් - රහීම් දැවීයති

ඕවර 20 - බංග්ලාදේශ පිල 138/3

දක්ෂ ලෙස පන්දුවට පහරදමින් සිටි ටමීම් ඉක්බාල් 17 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශෙල්ඩන් කොටේ‍රල් සමත් විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 53 කට මුහුණදී සිටි ටමීම් හතරේ පහර 6 කින් සිය ඉනිම සරසා තිබිණ.

සිවුවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි මුෂ්ෆිකුර් රහීම්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඔෂේන් තෝමස් ඉඩක් ලබා නොදුන්නේය. කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 5 කට මුහුණදී සිටි රහීම් ලබාසිටියේ එක් ලකුණක් පමණි.

තරමක් වේගයෙන් පන්දුවට පහරදෙමින් සිටින සකීබ් අල් හසන්, 20 වැනි ඕවරය නිමාවන විට පන්දු 39 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිය 45 වැනි එක්දින අර්ධ ශතකයට අත පොවන මානයේ සිටියි.

------------------------------------------------------------------------------------------------------------------------------

ටමීම් - සකීබ් සාර්ථක හඹායෑමක

ඕවර 15 - බංග්ලාදේශ පිල 108/1

පහළොස් වැනි ඕවරය නිමාවට පත්වන විට දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනගා සිටින ටමීම් ඉක්බාල් (නොදැවී 46) සහ සකීබ් අල් හසන් (නොදැවී 24) සාර්ථක හඹායෑමක නිරතව සිටිති.

මුල් ඕවර 10 නිමාවීමෙන් අනතරුව දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ශැනන් ගේබි්‍රයෙල්ට සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස්ට පන්දු යැවීම සඳහා කැඳවීම ලැබුණද, 15 වැනි ඕවරය නිමාවන තුරුත් කඩුල්ලක් දවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

ඒ අතර වාරයේදී එක්දින ලකුණු 6000 සීමාව පසුකර යෑමට සකීබ් සමත් වූ අතර එම සීමාව පසුකර ගිය දෙවැනි බංග්ලාදේශ පිතිකරුවා ලෙසද ඔහු වාර්තා අතරට එක් විය. සකීබ්ට පෙර එම වාර්තාව පසුකර ගිය බංග්ලාදේශ පිතිකරුවා වන්නේ මේ වන විට ඔහු සමග පිතිහරඹයේ නිරත වෙමින් සිටින ටමීම් ඉක්බාල්ය.

------------------------------------------------------------------------------------------------------------------------------

සෞම්‍ය සාකර් දැවී යයි

ඕවර 10 - බංග්ලාදේශ පිල 70/1

පන්දු 21 ක් පුරා හතරේ සහ හයේ පහර හිඟයකින් පෙළුණ බංග්ලාදේශ ඉනිමට නව ජවයක් එක් කරමින් නමවැනි ඕවරයේ පළමු පන්දුවට බැක්වඞ් පොයින්ට් කළාපයට ඉහළින් හතරේ සීමාව පසුකර යැවීමට ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් සමත් විය.  

කෙසේ වුවත් එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රිස් ගේල්ගේ සහායද ඇතිව සාකර් පිටියෙන් ඉවත් කිරීමට ඔන්ඩි්‍ර රසල් සමත් විය. දැවීයන විට පන්දු 23 කට මුහුණදී සිටි සාකර්ගේ ඉනිම හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත වී තිබිණ.

සාකර්ගේ දැවී යෑමෙන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ ටමීම් ඉක්බාල් සහ සහ සකීබ් අල් හසන් හතරේ පහර 3 ක් සමග ජේසන් හෝල්ඩර් යැවූ 10 වැනි ඕවරයේදී ලකුණු 14 ක් රැස්කිරීමට සමත් වෙති.

------------------------------------------------------------------------------------------------------------------------------

බංග්ලාදේශ පිතිකරුවෝ ඉවසිලිවන්ත පිතිහරඹයක

ඕවර 05 - බංග්ලාදේශ පිල 34/0

ශෙල්ඩන් කොටේ‍රල්ගේ සහ නායක ජේසන් හෝල්ඩර්ගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවෝ තරමක් ඉවසිලිමත් පිතිහරඹයක නිරත වෙති. මුල් ඕවර 5 නිමාවන විට ටමීම් ඉක්බාල් ලකුණු 9 ක්ද, සෞම්‍ය සාකර් ලකුණු 19 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

පස්වැනි ඕවරයේදී පිට පිටම එල්ල කරන ලද හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලබාගත් ලකුණු 18 හැරුණුකොට මුල් ඕවර 4 තුළදී ටමීම් සහ සාකර් එක්ව රැස්කරගෙන තිබුණේ ලකුණු 16 ක් පමණි.

------------------------------------------------------------------------------------------------------------------------------

බංග්ලාදේශයට ලකුණු 322 ක ඉලක්කයක්

ඕවර 50 - කොදෙව් පිල 8/321

ඉනිමේ අවසන් ඕවර 5 දී ලකුණු 33 ක් උදුරාගත් කොදෙව්වෝ එංගලන්තයේ ටෝන්ටන් නුවරදී අද (17 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශයට එරෙහිව නියමිත ඕවර 50 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබාගත්හ.

කොදෙව් පිල වෙනුවෙන්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෂායි හෝප්ගේ පිතිහරඹය නිසාම කොදෙව්වෝ මෙම ස්ථාවර ලකුණු සංඛ්‍යාව කරා අවතීර්ණ වූහ. පන්දු 121 කට මුහුණ දුන් අංක 3 පිතිකරුවාගේ ඉනිමට ඇතුළත් වූයේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් පමණි. විශාල පහර කරා යාම වෙනුවට අනෙක් අන්තයේ සිටින පිතිකරුවාට අවස්ථාව දෙමින් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගත් ෂායි හෝප් කොදෙව් පිතිහරඹයේ කොඳුනාරටිය විය. සෙසු පිතිකරුවෝ හෝප් වටා සිටිමින් විශාල පහර කරා ගියහ.

බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් ක්‍රිස් ගේල් ලකුණු ලබාගැනීමට පෙරම දවාගන්නා ලද නමුත් එහි ප්‍රයෝජන ගත නොහැකි වූයේ හෝප්ගේ පිතිහරඹය හේතුවෙනි. බංග්ලාදේශය වෙනුවෙන් මුස්ටෆිසුර් රහමන් (59/3) සහ සකිබ් අල් හසන් (54/2) දෙදෙනාම තරමක් දුරට සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් කොදෙව් පිතිකරුවන් 300 සීමාව පසුකිරීම නතර කළ නොහැකි විය.

------------------------------------------------------------------------------------------------------------------------------

මුෂ්ෆිකුර්ගේ නලලත රැළි නැංවෙයි

ඕවර 45 - කොදෙව් පිල 6/288

අවසන් ඕවර 5 දී ලකුණු 45 ක් ලබාගත් කොදෙව්වෝ අහිමි කරගත්තේ ජේසන් හෝල්ඩර්ගේ කඩුල්ල පමණි. එයද පිත්තටම ලැබුණු පන්දුව පිතිකරුවා අපේක්‍ෂා කළාට වඩා තරමක් වේගයෙන් පැමිණි බැවිනි.

එංගලන්තයේ ටෝන්ටන් නුවරදී අද (17 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශයට පන්දු යවන්නන්ට රිදවමින් සිටින කොදෙව් පිතිකරුවන් දෙස කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් බලා සිටින්නේ නලලත රැළි නංවාගනිමිනි. බංග්ලාදේශයේ සිටින පළපුරුදුම ක්‍රීඩකයා වන හිටපු නායක මුෂ්ෆිකුර් රහීම්ට සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ පූර්ව වැටහීමක් ඇතුවාට සැකයක් නැත.

ප්‍රහාරාත්ම පිතිකරුවා වන ඕන්ඩි්‍ර රසල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි නායක ජේසන් හෝල්ඩර් පිත්ත හැසිරවූයේ යගදාවක් ගෙන සතුරන් මැදට වන් සෙන්පතියකු විලසිනි. පන්දු 15 කට පමණක් මුහුණ දුන් කොදෙව් නායකයා හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ද සමගිනි.

------------------------------------------------------------------------------------------------------------------------------

කොදෙව්වෝ 300 කඩයිම සොයා ඇදෙති

ඕවර 40 - කොදෙව් පිල 5/243

ලකුණු රැස්කිරීමේ වේගය ඕවරයකට ලකුණු 6 ඉක්මවා තිබේ. ඉතිරිව තිබෙන ඕවර 10 දී ගනුදෙණුව බේරා ගැනීම සඳහා තවත් කඩුලු 5 ක් අත ඇති බැවින් එංගලන්තයේ ටෝන්ටන් නුවරදී අද (17 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 300 කඩයිම පසුකිරීම අසීරු අභියෝගයක් නොවේ.
 
ශිම්රන් හෙට්මියර්ගේ අර්ධ ශතකයෙන් පසුව ඔන්ඩි්‍ර රසල් ලකුණු නොලබා දැවී ගියද අංක 3 පිතිකරු ෂායි හෝප් සිය කඩුල්ල අතහැරීමට සූදානම් නැත. පන්දු 102 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් ලබා සිටින මෙම දකුණත් පිතිකරුවා සිය ශතකය සොයා යන්නේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවද ඉදිරියට ඇදගෙන යමිනි.

------------------------------------------------------------------------------------------------------------------------------

සකිබ් අල් හසන් තර්ජනය මැඬ පවත්වාගනී

ඕවර 35 - කොදෙව් පිල 3/193

වේග පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ නමුත් මනාව ඔවුන් පාලනය කරගත් සකිබ් අල් හසන් බංග්ලාදේශ පිල හමුවේ හිස ඔසවමින් තිබූ තර්ජන දෙකක්ම මැඬපවත්වා ගත්තේය. එංගලන්තයේ ටෝන්ටන් නුවරදී අද (17 වැනිදා) පැවැත්වෙන ලෝක කුෂලාන තරගයේදී මෙතෙක් බිඳ වැටී තිබෙන කඩුලු තුනෙන් දෙකක්ම හිමිකරගත් සකිබ් අල් හසන් යැවූ ඕවර 7 න් කොදෙව්වන්ට ලබාගත හැකිවූයේ ලකුණු 43 ක් පමණි.

එවින් ලුවිස් ලකුණු 70 කට දවාගත් සකිබ් අල් හසන් විසින් ගුවනේ පා කර යැවූ පන්දුවක් හමුවේ නිකලස් පූරන් ගැසූ පන්දුවකින් ඉහළ ගිය උඩපන්දුව හතරේ සීමාව අසළ සිටි සෞම්‍ය සාර්කර් විසින් රැකගන්නා ලදි.

එවින් ලුවිස් පන්දු 67 කින් ලකුණු 70 ක් ලබාගත් අතර නිකලස් පූරන් පන්දු 30 කින් ලකුණු 25 ක් ලබාගත්තේ අනුකම්පා විරහිත ප්‍රහාරයකට අඩිතාලම දමමිනි. එහෙත් සකිබ් අල් හසන් හමුවේ ඔවුන් දෙදෙනාටම පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

------------------------------------------------------------------------------------------------------------------------------

ලුවිස් වගකීම ඉටුකර ඉවත් වෙයි

ඕවර 25 - කොදෙව් පිල 2/122
ෂායි හෝප්ට කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ වගකීම පැවරූ එවින් ලුවිස් ලකුණු හඹා යන්නට විය. 10 වැනි ඕවරය නිමාවේදී පන්දු 26 කින් ලකුණු 17 ක් පමණක් ලබා සිටි ලුවිස් 15 වැනි ඕවරය වන විට තමන්ගේ ප්‍රහාරාත්මක වේගය 65.38 සිට 83.33 දක්වා වැඩිකරගත්තේය. 20 වැනි ඕවරය යව විට ලුවිස්ගේ ලකුණු  රැස්කිරීමේ ප්‍රවේගය 104.47 දක්වා ඉහළ ගොස් තිබිණ.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 67 කදී ලකුණු 70 ක් ලබාගත් එවින් ලුවිස් පිතිකරුවකු වශයෙන් තමන්ගේ වගකීම ඉටුකර පිටියෙන් ඉවත්ව ගියේ මැද පෙළ පිතිකරුවන්ට ප්‍රහාරය සඳහා වටාපිටාව සකස් කරමිනි.

------------------------------------------------------------------------------------------------------------------------------

ලුවිස් - හෝප් පරෙස්සමෙන් යති

ඕවර 10 - කොදෙව් පිල 1/32

ක්‍රිස් ගේල් දැවී ගිය නමුත් එවින් ලුවිස් (17) සහ ෂායි හෝප් (12) තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් සාධාරණ ලකුණු වේගයක් පවත්වාගෙන යති. එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය කොයි තරම් දුරට වෙනස් වී ඇත්ද යන්න මනාව වටහාගෙන සිටින මෙම පිතිකරුවෝ දෙදෙනා අවසන් ඕවර 10 දී ප්‍රහාරය ඇරඹීමට නම් අඩු තරමේ කඩුලු 4 ක් වත් තමන් සතුව තිබිය යුතු බව වටහාගෙන සිටිති.

------------------------------------------------------------------------------------------------------------------------------

ගේල් දැවී යයි

ඕවර 5 - කොදෙව් පිල 1/08
ක්‍රිස් ගේල් පිටියට පිවිසි මොහොතේ සිටම කිසියම්  ආකාරයකින් චංචල වී සිටියේය. ගේල්ගේ ගති  ස්වභාවය අනුව එය ඉතා දුර්ලභ වන නමුත් ඔහු පන්දුවට මුහුණ දුන්නේ චකිතයෙනි. පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය මොහොමඞ් යසිෆුඩීන්ගේ පන්දුව ගේල්ගේ පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අත පත්විය. 

------------------------------------------------------------------------------------------------------------------------------

බංග්ලාදේශය පන්දු යැවීම තෝරාගනී 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර ටෝන්ටන්හිදී අද (17 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ශායි හෝප්, ඩැරන් බ්‍රාවෝ, නිකලස් පූරන්, ශිම්රන් හැට්මෙයර්, ඔන්ඩ්‍රි  රසල්, ශෙල්ඩන් කොටේ‍රල්, ඔෂේන් තෝමස් සහ ශැනන් ගේබ්‍රියෙල්

බංග්ලාදේශ කණ්ඩායම

මෂ්රෆී මොටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාරක්, සකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, ලිටන් දාස්, මහමදුල්ලා රියාද්, මොසද්දික් හොසේන්, මොහොමඞ් ශයිෆුඩීන්, මෙහෙදි හසන් සහ මුස්තෆිසුර් රෙහෙමාන්

 


අදහස් (0)

බංග්ලාදේශයට වාර්තාගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.