Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තය විස්සයි-20 තරගාවලිය ජයගනී

නවසීලන්තය විස්සයි-20 තරගාවලිය ජයගනී

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

ඉදිරිපෙළ පිතිකරුවන් විවේක ගන්වා තිබියදීත් කිසිදු අපහසුවකින් තොරවම ශ්‍රී ලංකාවේ අභියෝගය ජයගත් නවසීලන්ත පිතිකරුවෝ දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ. මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) රාත්‍රියේදී පැවැති මෙම තරගයේදී අත්කරගත් ජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි-20 තරගාවලිය ජයගත්තේය.

ලකුණු 38 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී එක්වූ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් (59) සහ ටොම් බෲස් (53) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වී සිටින කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් ඉරිදා පැවැති පළමු විස්සයි-20 තරගයේදීත් ලකුණු 44 ක් ලබාගත්තේ පන්දු 28 කිනි. අද තරගයේදී පන්දු 46 කට මුහණ දුන් මෙම දකුණත් පිතිකරුවා පිටියෙන් ඉවත් වන විට නවසීලන්ත පිල ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටියේය. හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් ශ්‍රී ලංකා පන්දු යවන්න්නට සංග්‍රහ කළ කොලින් නවක ක්‍රීඩකයකු වන ටොම් බෲස්ට කදිම මඟ පෙන්වන්නකුද වූයේය.

අවසන් ඕවරය යැවීම වනිඳු හසරංගට බාර දෙන විට නවසීලන්ත පිලේ ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 7 ක් පමණි. එහෙත් පිට පිටම පන්දු දෙකකදී පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ හසරංග තරගය කණපිට පෙරළීමේ උත්සාහයක් ගත්තේය. එහෙත් ෂෙහාන් ජයසූරිය විසින් මිචෙල් සෑන්ට්නර්ගේ උඩපන්දුවක් රැකගන්නා ලද අවස්ථාවේදී එම උඩපන්දුවම රැකගැනීමට දිවගිය කුසල් මෙන්ඩිස්ගේ ඇඟේවැදීම හේතුවෙන් උඩපන්දුව මෙන්ම තරගය වෙනස් කිරීමේ අවස්ථාවද අහිමි විය.

එකිනොට මුහුණලා දිව ආ නමුත් දෙදෙනාගේම දෑස් තිබුණේ පන්දුව වෙත යොමුවී බැවින් ඔව්හු එකිනෙකා නොදුටූහ. සෑන්ට්නර්ගේ උඩපන්දුව ජයසූරියගේ දෑත් අතර රැඳුණ නමුත් දිව ආ වේගයත් සමගින් මෙන්ඩිස්ගේ සිරුරේ ගැටුණු ජයසූරිය විසිවී ගොස් හතරේ සීමාව මත වැටුණෙන් පිතිකරුවාට කඩුල්ල රැකගැනීමේ අවස්ථාව මෙන්ම ලකුණු 6 ක්ද හිමිවිය. එතැන් සිට අභියෝගය පන්දු 3 කින් එක ලකුණක් විය. සෑන්ට්නර් තවත් හතරේ පහරකින් එය සම්පූර්ණ කළේය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ලකුණු රැස්කිරීම තෝරාගත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල හොඳ සම්බන්ධතාවක් ගොඩ නැංවූ නමුත් පසුපෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ.
කුසල්ලා දෙදෙනා අතර පැවැති ලකුණු 34 ක සම්බන්ධතාවෙන් පසුව එක්වූ දික්වැල්ල සහ අවිශ්ක තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක් එක්කළේ පන්දු 44 කිනි. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මොහෙතක, මිචෙල් සෑන්ට්නර්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් ඉනිම නවතා ආපසු ක්‍රීඩාගාරයට යන විට අවිශ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී ලකුණු 37 ක් ලබා සිටියේය.

 අවිශ්කගේ දැවීයාමත් ශ්‍රී ලංකා ඉනිමේ නිමාවත් අතර පන්දු පන්දු 38 ට මුහුණ දීමට කඩුලු 7 ක් අත තිබූ නමුත් ඒ අතරවාරයේදී එක්වූයේ ලකුණු 53 ක් පමණි. එහෙත් විස්සයි-20 අන්තර්ජාතික තරගයක් ජයග්‍රහණය කිරීමට, අවසන් ඕවර කිහිපයේදී මෙම ලකුණු සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව නිරෝෂන් දික්වැල්ල රූපවාහිනියට කියා සිටියේත් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා කළාට වඩා ලකුණු 10 ක් හෝ 15 ක් පමණ මදිවූ බවයි. මෙම තත්ත්වයට සෘජුවම වගකිවයුත්තා වූ නවසීලන්ත නායක ටිම් සවුති සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු දෙකක්ද දවාගත්තේය. එපමණක් නොව, තමන් සතුව සිටි පන්දු යවන්නන් සිව්දෙනා මැනවින් කලමණාකරණය කිරීමටත්, පන්දු රකින්නන් පිටියේ නිසි තැන්වල ස්ථනගත කිරීමටත් පියවර ගත් සවුති තරගයේ වීරයා සම්මානයද මිටමොළවා ගත්තේය.

තරගය නැරඹීම සඳහා අතුරු සිදුරු නැතිව ක්‍රීඩාංගණය පුරා සිටි ක්‍රීඩා ලෝලීන් ලසිත් මාලිංගගේ 100 වැනි විස්සයි-20 කඩුල්ල දැකගැනීම සඳහා දෑස් දල්වා බලා සිටි නමුත් ඒ වෙනුවෙන් තවත් දින දෙකක් බලාසිටීමට ඔවුන්ට සිදුව තිබේ.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය සිකුරාදා (6 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

නවසීලන්තය විස්සයි-20 තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.