Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තය කඩුලු 10 කින් ශ්‍රී ලංකාව පරදවයි

නවසීලන්තය කඩුලු 10 කින් ශ්‍රී ලංකාව පරදවයි

editorial - 2019 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් නොදුන් නවසීලන්ත පිතිකරුවෝ කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 16.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගත්තේ ශ්‍රී ලංකා පිලේ සියලුම පන්දු යවන්නන් අසාර්ථක කරමිනි.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. එහිදී පන්දු 51 කට මුහුණදුන් ගප්ටිල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ මුන්රෝගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29.2 ක් අවසානයේ ලකුණු 136 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (නොදැවී 52) පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමග සිය දෙවැනි එක්දින ශතකය ලබාගත්තේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉනිම ආරම්භ කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දෙවැනි පිතිකරුවා ලෙස දිමුත් වාර්තා අතරට එක් විය. මින් පෙර එවන් වාර්තාවකට හිමිකම් කියා තිබූ එකම පිතිකරුවා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රිඞ්ලි ජේකබ්ස්ය. 1999 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කොදෙව් ඉනිම ඇරඹූ ඔහු, ලකුණු 49 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී සිටිමින් එම වාර්තාව පිහිටුවීය.

තරගයේ දෙවැනි පන්දුවේදීම ළහිරු තිරිමාන්න (4) පිටියෙන් ඉවත් කිරීමට මැතිව් හෙන්රි සමත් වූ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක දිමුත් සමග එක්වූ කුසල් පෙරේරා (29) සමත් විය. කෙසේ වුවත් යළිත් ක්‍රියාත්මක වූ හෙන්රි 8 වැනි ඕවරයේ පළමු පන්දු දෙකේදී පිට පිටම කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් (0) දවාගනිමින් ලකුණු 46 කට කඩුලු 3 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවේය. දැවීයන විට පන්දු 24 කට මුහුණදී සිටි කුසල් පෙරේරාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.

එතැන් පටන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 14 ක් එක්වන විට ධනංජය ද සිල්වා (4), ඇන්ජලෝ මැතිව්ස් (0) සහ ජීවන් මෙන්ඩිස් (1) ද අඩු ලකුණු ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 23 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් සමග එක්ව පන්දු 50 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. එහෙත් මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් හමුවේ ට්‍රෙන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් තිසර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සහ ලොකී ෆර්ගසන් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මනා දායකත්වයක් සැපයූහ.

 

- 036


අදහස් (1)

නවසීලන්තය කඩුලු 10 කින් ශ්‍රී ලංකාව පරදවයි
  • Gamini. milano Saturday, 01 June 2019 03:25 PM

    අනුන් ගේ පව්වලට ඔබ පලිනෑත....... නම්බුකාර ලෙස ක්‍රිඩාකර ගෙදර එන්න.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.