Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටි්‍රනිඩෑඞ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි ඉනිම ඕවර 46 කට සීමා කෙරුණු අතර එහිදී කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණ සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හිමිවිය. එහෙත් බුවනේෂ්වර් කුමාර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කොදෙව් කණ්ඩායමට ඕවර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි.
 
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා  බවට පත් වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 65 ක් රැස්කළ අතර නිකලස් පූරන් පන්දු 52 කදී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඔවුන් දෙදෙනාම බුවනේෂ්වර්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ බුවනේෂ්වර් කුමාර්, ඕවර 8 ක් යවමින් ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර මොහොමඞ් සාමි ලකුණු 39 කට කඩුලු 2 ක්ද, කුල්දීප් යාදව් ලකුණු 59 කට කඩුලු 2 ක්ද දවාගනිමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා බුවනේෂ්වර්ට අනගි සහායක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 279 ක් රැස්කළ අතර එහිදී සිය 42 වැනි එක්දින ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි (120) සමත් විය. පන්දු 125 කට මුහුණදුන් කෝලි, හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සිය ශතකය අලංකාර කළේය.


රෝහිත් ශර්මා (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් පිහිටවූ කෝලි, ඉන් නොනැවතී ශ්‍රෙයාස් අයියර් (71) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක්ද පිහිටුවමින් කෙමෙන් කෙමෙන් ඉන්දීය ඉනිම ගොඩනැගුවේය. පන්දු 68 කදී වාර්තා වූ අයියර්ගේ තෙවැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
 
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 279
(රෝහිත් ශර්මා 18, විරාට් කෝලි 120, රිෂාබ් පාන්ට් 20, ශ්‍රෙයාස් අයියර් 71, කේදර් රාජව් 16, රවින්ද්‍ර ජදේජා නෙදැවී 16, කාර්ලෝස් බ්‍රැත්වේට් 53/3)
බටහිර ඉන්දීය කොදෙව් දූපත් - ඕවර 42 කදී සියලු දෙනා දැවී 210
(එවින් ලුවිස් 65, ශිම්රන් හැට්මෙයර් 18, නිකලස් පූරණ් 42, රොස්ටන් චේස් 18, ශෙල්ඩන් කොටේ‍රල් 17, බුවනේෂ්වර් කුමාර් 31/4, මොහොමඞ් සාමි 39/2, කේසර් ජාදව් 59/2)

 

-036

 


අදහස් (0)

කෝලිගේ ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.