Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවැනි තැනට

ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවැනි තැනට

editorial - 2019 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 45.4 කදී - පාකිස්තානය 266/10

පන්දු 48 කදී හතරේ පහරක් සමග ලකුණු 40 ක් ලබා සිටි නායක සර්ෆරාස් අහමඞ් දුවද්දී දවාගැනීමකට හසුකරගත් ග්ලේන් මැක්ස්වෙල් පාකිස්තාන ඉනිම නිමාවට පත්කළේය. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 41 ක ජයක් අක්තර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු 2 ක්ද හිමිවිය.

එම ප්‍රසාද ලකුණු 2 ත් සමග මේ වන විට මුලු ලකුණු 6 ක් ලබා සිටින ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබූ අතර පාකිස්තානයට තවදුරටත් 8 වැනි ස්ථානයේම රැදී සිටීමට සිදුවිය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 45 කදී - පාකිස්තානය 266/9

45 වැනි ඕවරය යැවූ මිචෙල් ස්ටාක් එම ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලදී වහබ් රියාස් (45) සහ මොහොමඞ් අමීර් (0) පිටියෙන් ඉවත් කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් සුනුවිසුණු කර දැමුවේය.

කඩුලු රකින ක්‍රීඩක ඇලේක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 39 කට මුහුණදී සිටි රියාස් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා තිබිණ. අමීර් ලකුණු නොලබාම දැවී ගියේ ඔහු මුහුණදුන් තෙවැනි පන්දුවේදීය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 40 කදී - පාකිස්තානය 230/7

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවීයද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදෙන පාකිස්තාන නායක සර්ෆරාස් අහමඞ් පන්දු 39 කදී හතරේ පහරක් සමග ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටියි. වහබ් රියාස් පන්දු 22 කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 19 කි.

ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායම පන්දු 60 කදී ලකුණු 78 ක් රැස්කළ යුතුව තිබෙන අතර ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 3 ක් පමණි. 

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 34 කදී - පාකිස්තානය 200/7

හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 32 ක් රැස්කළ හසන් අලී පිටියෙන් ඉවත් කිරීමට කේන් රිචඞ්සන් සමත් විය. උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 15 කට මුහුණදී සිටි අලීගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 30 කදී - පාකිස්තානය 160/6

වේග පන්දු යවන්නන් හමුවේ ඉතා දක්ෂ ලෙස පන්දුවට පහරදුන් මොහොමඞ් හෆීස් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක් ලබා සිටියදී ඒරන් ෆින්ච්ගේ පන්දුවක් හමුවේ මිචෙල් ස්ටාක් අතට උඩපන්දුවක් දෙමින් දැවී යයි.

හෆීස්ගේ දැවී යෑමෙන් පන්දු 2 කට පසුව පැට් කමින්සගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ෂොයිබ් මලික්ද ලකුණු නොළබාම දැවීයෑම නිසා පාකිස්තාන ඉනිම ලකුණු 147 කට කඩුලු 5 ක් බවට පත් වෙයි.

කේන් රිචඞ්සන් විසින් යවන ලද පාකිස්තාන ඉනිමේ 30 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී අසීෆ් අලී ලකුණු 5 කට දැවී ගියේද අලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමිනි. ඒ අනුව ඕවර 30 ක් අවසන් වන විට පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලු 4 ක් ඇතැතිව ජයග්‍රහණයට ලකුණු 148 ක් පසුපසින් සිටියි. 

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 25.1 කදී - පාකිස්තානය 136/3

පන්දු 75 කට මුහුණදෙමින් හතරේ පහර 7 ක් සමග සිය 6 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් ඉමාම් උල්හක්, පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යයි.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 20 කදී - පාකිස්තානය 110/2

මුලු ලකුණු සංඛ්‍යාව 56 ක් වන විට පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි කඩුල්ලත් දැවී ගියද, ඕවර 20 නිමාවන විට තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 58 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉමාම් උල්හක් (නොදැවී 39) සහ මොහොමඞ් හෆීස් (34) සමත් වූහ.

නේදන් කූල්ටර්නයිල්ගේ පන්දුවක් හමුවේ කේන් රිචඞ්සන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 28 කට මුහුණදී සිටි බාබර් අසාම් හතරේ පහර 7 ක් සමගින් ලකුනු 30 ක් ලබා සිටියේය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 10 කදී - පාකිස්තානය 51/1

මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන වට ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු නොළබා පිටියෙන් ඉවත් වුවද, මුල් ඕවර 10 නිමාවට පත්වන දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 49 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉමාම් උල්හක් (නොදැවී 20) සහ බාබර් අසාම් (26) සමත් වූහ.

ඉක්මනින් කඩුලු දවාගැනීමේ අරමුණෙන් මුල් ඕවර 10 තුළදී පන්දු යවන්නන් සිවුදෙනකුගේ සහාය ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් සමත් වුවද, ඔවුන් අතරින් කඩුල්ලක් දවාගැනීමට සමත් වූයේ පැට් කමින්ස් පමණි.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 49 කදී - ඕස්ට්‍රේලියාව 307/10

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ත අසරණ කළ පාකිස්තාන පන්දු යවන්නෝ අවසන් ඕවර 4 තුළදී කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 16 ක් පමණක් ලබා දෙමිනි. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ මොහොමඞ් අමීර් ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

47 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී නේදන් කූල්ටර් නයිල් දවාගැනීමට වහබ් රියාස් සමත් වූ අතර 48 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී පැට් කමින්ස් දවාගැනීමට හසන් අලී සමත් විය. 49 වැනි ඕවර යැවූ මොහොමඞ් අමීර් එහි තෙවැනි සහ අවසන් පන්දුවලදී ඇලෙක්ස් කේරී සහ මිචෙල් ස්ටාක් පිටියෙන් ඉවත් කරමින් ඕස්ටේ්‍රලියානු ඉනිම නිමාවට පත්කළේය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 45 - ඕස්ට්‍රේලියාව 291/6

වරින් වර කඩුලු දැවී ගිය නමුත් ලකුණු ලබාගැනීමේ වේගය අඩාළ කර නොගත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ පාකිස්තානයට එරෙහිව ටෝන්ටන්හිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ලකුණු 300 ඉලක්කය සොයා යමින් සිටිති.

ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වන මොහොමඞ් අමීර් විසින් උස්මන් කවාජා මෙන්ම ෂෝන් මාෂ් දෙදෙනාම දවාගන්නා ලද නමුත් ඉතිරි වී තිබෙන සීමිත ඕවර සංඛ්‍යාව පිළිබඳ අවධානය යොමුකර සිටින පිතිකරුවෝ ලකුණු ලබාගැනීමේ වේගය දිගටම පවත්වාගෙන යති.

-----------------------------------------------------------------------------------------------------------------------------


ඕවර 35.1 - ඕස්ට්‍රේලියාව 228/3

ස්ලිප් ක්‍රීඩකයකු සිටියේ නම් උඩපන්දුවක් විය හැකිව තිබූ නමුත් කඩුලු රකින්නා පාකිස්තානු නායකයාගේ අතට අඟල් කිහිපයක් එපිටින් පියාඹා ගිය පන්දුව හතරේ සීමාව පසුකර යාමත් සමගම ඬේවිඞ් වෝනර් සිය ශතකය සම්පූර්ණ කළේය. මෙම ශතකය ඬේවිඞ් වෝනර් තහනමෙන් මිදී ආපසු පැමිණීමෙන් පසුව ලබාගත් පළමු වැනි අන්තර්ජාතික ශතකය වන අතරම ඔහුගේ 15 වැනි එක්දින ශතකයද වෙයි.

ශතකය සඳහා පන්දු 102 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් පාකිස්තානු පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය.

-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 30 - ඕස්ට්‍රේලියාව 191/2

ඒරන් ෆින්ච් ලකුණු 82 ක් ලබාගැනීමෙන් පසුව පිටියෙන් ඉවත්ව ගියද තමන්ගේ වැඩ කොටස අත් නොහළ ඬේවිඞ් වෝනර් සුපුරුදු ආක්‍රමණශීලී ලීලාවෙන් ශතකය සොයා යමින් සිටියේය. තරගයේ 30 වැනි ඕවරය අවසන් වන විට නොදැවී ලකුණු 83 ක් ලබා සිටි වෝනර් ඒ වෙනුවෙන් මුහුණ දී සිටියේ පන්දු 86 කට පමණි.

බළලුන් මීයන් සමග සෙල්ලම් කරන්නාක් මෙන් පාකිස්තානු පන්දු යවන්නන්ට පහර දුන් වෝනර් සහ ෆින්ච් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. ඒ සඳහා දෙදෙනාට වැය වූයේ පන්දු 132 ක් පමණි.

-----------------------------------------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 23 - ඕස්ට්‍රේලියාව 149/1
පාකිස්තානු පන්දු යවන්නන්ගේ ඔද තෙද සීසීකඩ විසුරුවා දැමූ ඕස්ට්‍රේලියානු නායකයා ලකුණු 82 ක් ලබාගැනීමෙන් පසුව පිටියෙන් ඉවත්ව ගියේය. පාකිස්තානු පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ ආරම්භක පිතිකරුවා, ඬේවිඞ් වෝනර් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. ඒ සඳහා දෙදෙනාට වැය වූයේ පන්දු 132 ක් පමණි.

පන්දු 84 කට මුහුණ දුන් ෆින්ච් හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් ටෝන්ටන්හි නරඹන්නන් ප්‍රීති ප්‍රමෝදයට පත්කළේය.

මොහොමඞ් අමීර්ගේ පන්දුවක් පන්දු යවන්නාගේ හිසට ඉහළින් යැවීමට ෆින්ච් ගත් උත්සාහයේදී එකතැන ඉහළ නැගි පන්දුව මොහොමඞ් හෆීස් විසින් රැකගන්නා ලදි.

-----------------------------------------------------------------------------------------------------------------------------

-----------------------------------------------------------------------------------------------------------------------------
ඕවර 10 - ඕස්ට්‍රේලියාව 56/0
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඒරන් ෆින්ච් (නොදැවී 22) සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 27) පාකිස්තානු පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙති. පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලියේ තරග 5 කදී ලකුනු 451 ක් ලබාගත් ඒරන් ෆින්ච්ගේ එම තරගාවලියේදී ඉනිමක සාමාන්‍යය 112.75 කි. පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ෆින්ච්ට ඇත්තේ සාර්ථක වාර්තාවකි

(සැකසුම : දමින්ද විජේසූරිය සහ ශානුක අරවින්ද)


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු සටහනේ දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.