Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අවිෂ්ක ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වෙනවා

අවිෂ්ක ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වෙනවා

editorial - 2019 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(යොහාන් භාසුර, ලීඞ්ස් හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට...)


ශ්‍රී ලංකා පිලට සාර්ථක ආම්භක පිතිකරුවන් දෙදෙනකු සකස් කරගැනීමට ලැබීම මෙම ලෝක කුසලාන තරගාවලියේදී ලැබූ ඉහළතම ප්‍රතිලාභය බවත් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස සාර්ථක වූ අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න අද (05) පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 44 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ලිඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී හෙට (06) පැවැත්වේ. දිවා තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයේ ජයග්‍රහණය ඉන්දියාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට වඩාත් වැඳගත් වී තිබේ. ඉන්දියාව මේ වන විටත් සහභාගි වූ තරග අටෙන් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 13 ක් ලබා සිටියි.

ඉන්දියාව මෙම තරගයෙන් ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 15 ක් වන අතර ඕස්ට්‍රේලියාව අද පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වුවහොත් ඉන්දියාවට පළමු වැනියා ලෙස අවසන් පූර්ව තරගයට සහභාගි වීමේ අවස්ථාව උදාවේ.

එසේ වුවහොත් ඉන්දියාවට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේදී තරග කිරීමේ අවස්ථාව උදාවේ.

ඕස්ට්‍රේලියාව එම තරගයෙන් ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 ක් බවට පත්ව පළමු ස්ථානය ලබන අතර ඉන්දීය පිල ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලැබුව ද දෙවැනි තැනම රැදීමට සිදුවේ. 

දෙපිලම මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ සහභාගි වන නවවැනි සහ අවසන් තරගය මෙය වේ. ශ්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවද අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාවක් නැත.

හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී අද (05) පෙරවරුවේ පැවැති පුහුණු සැසියට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩසේ පමණක් සහභාගි වූ අතර සෙසු ක්‍රීඩකයන් විවේක ගෙන තිබුණි. 

පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනා හොඳට ක්‍රීඩා කළා. ආරම්භක පිතිකරුවන් ලෙස සාර්ථක වෙන්න ලැබුණා. මැද පෙළ හොඳට කළා. නමුත් මැඳ පෙළට අඛණ්ඩව හොඳින් ක්‍රීඩා කරන්න නොහැකි වීම තමයි ප්‍රශ්නය වුණේ”

“අවිෂ්ක ප්‍රනාන්දු තරග තුනකදී ඉතාමත් හොඳටම ක්‍රීඩා කළා. ඔහු කණ්ඩායමට ලකුණු ගෙනාවා. මම හිතනවා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වෙයි කියලා. ඒවා තමයි මේ ලෝක කුසලානයෙන් අපිට ලැබුණු විශේෂ ප්‍රතිලාභ කියලා මම හිතනවා”

 “මමයි, කුසලුයි ආකාර දෙකකට ක්‍රීඩා කරන්නෙ. ඒ වගේම කණ්ඩායම අපි දෙන්නගෙන් බලාපොරොත්තු වන දේත් වෙනස්. කුසල් නිදහසේ පන්දුවට පහර දෙන පිතිකරුවෙක්. මම කඩුල්ලේ රැදී සිටින චරිතයක් කියලා ඔහු දන්නවා. ඒ නිසා ඔහුට නිදහසේ පන්දුවට පහර දෙන්න පුඵවන්. ඔහු නිදහසේ පහර දෙනවා”

“අනෙක් පැත්තෙන් කඩුල්ල වැටුණොත් ඔහුට ඒක කරන්න අමාරුයි. මම කරන්නෙ ඔහුට අන්තය මාරු කර අවස්ථාව ලබාදීමයි. අපි දෙන්නා අතර හොඳ අවබෝදයක් තියෙනවා. මම ඔහුගේ ලකුණු සංඛ්‍යාව අල්ලන්න උත්සහ කරන්නේ නෑ”

“අපි දෙන්නා කඩුලු අතර දිවීමේදී මුලදී ප්‍රශ්නයත් තිබුණා. දැන් ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නා වෙනස් පිතිකරුවන් වීම නිසා තමයි තමයි සාර්ථක වෙන්න හැකි වුණේ”

කොදෙව් පිලට එරෙහිව ඩර්හැම්හිදී පැවැති තරගයේදී පන්දු යවන්නන් පිළිබඳව ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.

“වැන්ඩසේව ක්‍රීඩා කරවන්න තීරණය කළේ මමයි. අපිට ඔහුට අවස්ථාවක් දෙන්න උවමනාවක් තිබුණා. නැත්නම් ඔහුව ගෙනල්ලා නිකම්ම අරන් යන්න වෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය අපිට තීරණාත්මක තරගයක් වුණ නිසා කොදෙව් තරගයේදී තමයි ඒ අවස්ථාව තිබුණේ”

“ඩර්හැම් ක්‍රීඩාංගණය තරමක් ලොකු නිසාත් තණතීරුව දඟ කැවෙයි කියලා හිතපු නිසාත් තමයි ඔහුව ක්‍රීඩා කෙරෙව්වේ. අපි බලාපොරොත්තු වූ තරම්ම හොඳින් ඔහු පන්දු යව්වේ නෑ. ඒ නිසා තමයි ඕවර තුනක් හදන්න වුනේ”

“පන්දු යවන්නන් පස් දෙනෙක් හිටියා. හතර දෙනෙක් දහය දහය දැම්මා. වැන්ඩසේගේ ඉතිරි ඕවර තුන තමයි මමයි ඇන්ජියි දැම්මේ”

“මමයි, පුහුණුකරුයි, තේරීම් කමිටු සාමාජිකයයි තමයි කණ්ඩායම තෝරන්නෙ. අපිට වැඩිපුර පිතිකරුවකු අවශ්‍ය වූ නිසයි තිරිමාන්නව ගෙනාවේ”

ශ්‍රී ලංකා දේශීය තරගාවලියේ දුර්වලතාව පිළිබඳව එහිදී දිමුත් මෙසේ පැවසීය.

“වෙනත් රටවල්වල අයි.පී.එල්. වගේ තරගාවලි තියෙනවා. ඉන්දියාවෙ දේශීය තරගාවලිය වඩාත් ශක්තිමත්. ශ්‍රී ලංකාවේ තියෙන්නේ එක දේශීය තරගාවලියයි. ඒකෙන් තෝරාගෙන ජාත්‍යන්තරයට ආවාම විශාල තරතරයක් තියෙනවා”

“අපේ ක්‍රීඩකයන්ටත් අයි.පී.එල්., බික්බෑෂ් හෝ ප්‍රාන්ත තරගාවලිවලට සහභාගිවීමේ අවස්ථාව ලැබෙනවා නම් අත්දැකීම් ලබාදෙන එන්න පු`ඵවන්. අපි ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඒ පිළිබඳව කථා කරන්න බලාපොරොත්තු වෙනවා”

 ඉන්දියාවට එරෙහිව අද තරගය පිළිබඳව දිමුත් මෙසේ පැවසීය.

“ඉන්දියාව සමඟ තරගයක් කියන්නේ පහසු එකක් නොවෙයි. ඉතාමත් හොදින් ක්‍රීඩා කරන්න ඕනේ. අපි ඉන්දියාවට එරෙහිව මීට පෙර ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ක්‍රීඩකයොම තමයි එය කරලා තියෙන්නෙත්. මම හිතනවා අපිට එය කරන්නෙ පුඵවන් කියලා. මේ තරගය ජය ලබා ලෝක කුසලානය හොඳින් අවසන් කරන්න තමයි බලාපොරොත්තුව” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.

ඉන්දීය පිල හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී අද (05) පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබුණි.
  දෙරට අතර අවසන් එක්දින තරගය මීට වසර එකහමාරකට පමණ පෙර එනම් 2017 වසරේ දෙසැම්බර් මස විසාඛාපට්ටම්හිදී පැවැති අතර ඉන්දියාව එම තරගයෙන් ජය ලබා එම තරගාවලිය ද 2-1 කින් ජය ගත්තේය.

එම තරගාවලියට සහභාගි වූ දෙපිලෙන්ම ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඉන්දියාව මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 158 ක් පවත්වා තිබේ. එහිදී ඉන්දියාව තරග 90 ක් ද, ශ්‍රී ලංකාව තරග 56 ක් ද, ජය ලබා තිබේ. එහිදී තරගයක් සමව අවසන් වී ඇති අතර තරග 11 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.  


ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, කසුන් රාජිත, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

ඉන්දීය සංචිතය:
විරාට් කෝලි (නායක), මහේන්ද්‍ර සිං දෝනි, රවින්ද්‍ර ජඬේජා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් ශාමී, රෝහිත් ශර්මා, ලෝකේෂ් රාහුල්, කේදර් ජධාව්, දිනේෂ් කාර්තික්, හර්ද්‍රික් පාණ්ඩියා, කුල්දීප් යාදව්, යුෂ්වේන්ද්‍ර චාහල්, ජස්ප්‍රිට් බුම්රා, රිෂාබ් පාන්ට් සහ මයාන්ක් අගර්වල්


අදහස් (0)

අවිෂ්ක ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක් වෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.