Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සැලසුමක

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සැලසුමක

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටියද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේදී නම් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇත්තේ ප්‍රසාද ලකුණු 17 ක විශාල පරතරයකි. ස්ථාන වශයෙන් ගතහොත් නවසීලන්තය ටෙස්ට ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ 2 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේත් සිටිති.

මෙම තරගාවලිය ජයගත්තේ නම් ඉන්දියාව පහළට ඇද දමා ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත ලයිස්තුවේ මුල් තැන ගැනීමට නවසීලන්තයට තිබූ  අවස්ථාව දැන් ගිළිහී ගොසිනි. එහෙත් තරගාවලිය සම කරගැනීමේ අවස්ථාව ඔවුන්ට තවමත් තිබුණද ඒ අවස්ථාව දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් නැත.

මීට පෙර පැවැති තරගාවලි දෙකකදීම, ගාල්ලේදී තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ඕවල් පිටියට පිවිසියේ 1-0 ක් ලෙස පෙරමුණ ගනිමිනි. එහෙත් ඒ අවස්ථා දෙකේදීම ඕවල් පිටියේදී තරගය පරාජය වීම නිසා තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එබැවින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගයේදී වෙනස් ආකාරයකින් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා පිලට තිබේ.

“මේ තරගාවලිය පටන් ගන්නකොට හිටියාට වඩා වැඩි විශ්වාසනීයත්වයක් අපට දැන් තියෙනවා....විශේෂයෙන්ම ගාල්ල තරගය දින්නාට පස්සේ....මොකද අපි පරාජය කළේ ලෝකයේ අංක 2 හිමි කණ්ඩායමයි...”

“ඒ නිසා මේ තරගයේදී අපිට වෙනස් ආකාරයේ බලාපොරොත්තු තියෙනවා” යයි ඊයේ පස්වරුවේදී පැවති නිරෝෂන් දික්වැල්ල පැවසීය. එසේ වුවත් මෙම තරගය සම්බන්ධයෙන් කණ්ඩායමේ සැලසුම් මොනවාද යන්න දිගින් දිගටම හෙළිදරව් කිරීමට දික්වැල්ල ඉදිරිපත් නොවීය.

“කණ්ඩායම ගැන නම් මොනවත් කියන්න මා දන්නේ නෑ...ඒත් මේක ටිකක් ලකුණු වැඩියෙන් ලබාගන්නා තරගයක් වේවි” යයි කඩුලු රකින්නා කීවේය.

ගාල්ල ටෙස්ට් තරගයේ ගමන් මග වෙනස් කළ ක්‍රීඩකයා වන්නේ සුරංග ලක්මාල්ය. පළමු දිනය අවසානයේදී කඩුලු කඩුලු 5 කට ලකුණු 203 ක් ලබා සිටි නවසීලන්ත පිලේ අවසන් කඩුලු 5 ලකුණු 46 කට සීමා කළ ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ අමාරුවක වැටී සිටි අවස්ථාවේදී පිතිකරුවාගේ භූමිකාවට පිවිසෙමින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට දායක විය. මෙම සම්බන්ධතාව ගොඩනැඟීමේදී ලක්මාල් කළ පිතිහරඹය හේතුවෙන් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝත් දිරිමත් වූහ.

“සුරංග කියන්නේ වේග පන්දු යවන්නෙක්. පසුපෙළ පිතිකරුවෙක්..ඒත් එයා පළමු ඉනිමේදී පන්දුවට පහර දුන් ආකාරය නිසා අපේ පිතිකරුවන්ට කිසියම් විශ්වාසනීයත්වයක් ලැබුණා. දෙවැනි ඉනිමේදී දිමුත් සහ තිරිමාන්න අතර සම්බන්ධතාවෙන් පෙන්නුම් කළේ එයයි” යයි නිරෝෂන් දික්වැල්ල කීවේ ලක්මාල්ගේ දායකත්වය වඩාත් පැහැදිළි කරමිනි.

කෙසේ වෙතත් සරවනමුත්තු ක්‍රීඩාංගණයේ තණතීරුව හැසිරෙන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේදී මෙන් නොවේ. එය වේග පන්දු යවන්නන්ට තරමක් වාසි ගෙනෙන අතර පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවකි.

වසර හයකට ඉහතදී මෙම ක්‍රීඩාංගණයේදී කළ වික්‍රමය නවසීලන්තයට තවමත් හොඳින් මතකය. 2012 දී ගාල්ලේදී පැවැති පළමු තරගය කඩුලු 10 කින් පරාජය වුවද කොළඹට පැමිණ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති තරගය ලකුණු 167 කින් ජයගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. වත්මන් නවසීලන්ත පිලේත් සිටින රොස් ටේලර් සහ කේන් විලියම්සන් දෙදෙනා එම තරගයේදී ශතක ලබාගත් අතර ටේ‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති දෙදෙනා කඩුලු 15 ක් බෙදාහදා ගත්හ.

මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝද හොඳින්ම මතකයේ තබාගෙන සිටිති.

“අපිත් නිකම් ඉන්නේ නෑ...අපි අතීතය ගැන හිත හිත ඉන්නේ නෑ...මේ තරගයත් අලුත් තරගයක් කියලා හිතලා අපි තරගයට එනවා...අපේ අරමුණ ජයගැනීමයි” යයිද නිරෝෂන් දික්වැල්ල ඊයේ පස්වරුවේදී පැවසීය.

අනෙක් අතට සරවනමුත්තු ක්‍රීඩාංගණයේ මෑත ඉතිහාසය ශ්‍රී ලංකා පිලට එතරම් හිතකර නොවේ. මෙම ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරග 7 න් ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි.
අකිල ධනංජය පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්ව සිටින නමුත් පරීක්‍ෂණයට පෙනී සිටීමට පෙර දින 14 ක සහන කාලයක් ඔහුට තිබේ. එතෙක් ඔහුට අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමේ අවසරය තිබේ. එබැවින් ඩිල්රුවන් පෙරේරා සංචිතයට ඇතුළත් වූ නමුත් හෙට තරගයේදී ඔහුට අවස්ථාවක් ලැබීමට ඇති අවස්ථාව 50-50 කි.

 

ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ඩිල්රුවන් පෙරේරා සහ ළහිරු කුමාර


නවසීලන්ත සංචිතය
කේන් විලියම්ස් (නායක), ටොඞ් ඇස්ට්ල්, ටොම් බ්ලන්ඬේල්, ටේ‍රන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්, ටොම් ලෙතම්, හෙන්රි නිකොල්ස්, අජාස් පතෙල්, ජීට් රාවල්, විල් සොමර්විල්, මිචෙල් සෑන්ට්නර්. ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර් සහ බී.ජේ. වොට්ලිං


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් සැලසුමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.