Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට

යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට

ශානුක අරවින්ද - 2019 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රටවල් 8 ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැති යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය 19 න් පහළ කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කරමින් ඉන්දීය ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

මේ දක්වා යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි 8 ක් පවත්වා ඇති අතර ඉන් 7 කම ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. මෙවර ඔවුන් ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම දෙවැනි වරටය. 2017 වසරේ පැවැති තරගාවලියේ ශූරතාව පමණක් ඇෆ්ඝනිස්තානය සතුවී ඇති අතර 2012 වසරේදී ඉන්දියාව සහ පාකිස්තානය සම ශූරයන් බවට පත්ව තිබේ.

අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 33 ක් අවසානයේ ලකුණු 101 කට සීමා කිරීමට අතර්වා අන්කොලෙකාර් ප්‍රමුඛ ඉන්දිය යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදි දක්ෂ පන්දු යැවීමක නිතර වූ අන්කොලෙකාර් ලකුණු 28 කට කඩුලු 5 ක් බිඳහෙළු අතර ඔහුට අනගි සහායක් දුන් අකාෂ් සිං ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ලකුණු 51 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී අටවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රිතුන්ජෝයි චෞද්‍රි (21) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක අක්බර් අලී (23) උත්සාහ කළේය. එහෙත් අන්කොලෙකාර්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් අලී දැවී යෑම හේතුවෙන් හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 27 කට සීමා විය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට විශාල පාඩුවක් විය. බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකුම අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා සිටියදී පිටියෙන් ඉවත් කළ ආක්ෂ් සිං, ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායමට ඕවර 32.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. එහිදී නායක ධ්‍රව් ජුරෙල් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 33 ක්ද, කරන් ලාල් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද රැස්කළහ.  

ඉන්දීය යොවුන් කණ්ඩායමේද පිතිකරුවන් 7 දෙනෙක් ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර දවාගැනීමට බංගල්දේශ යොවුන් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශමීම් හොසේන් ලකුණු 8 කට කඩුලු 3 ක්ද, රිතුන්ජෝයි චෞද්‍රි ලකුණු 18 කට කඩුලු 3 ක්ද බැගින් දවාගත්හ.


ඉන්දීය යොවුන් පිල - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 106
(ධ්‍රව් ජුරෙල් 33, ශෂ්වත් රාවල් 19, කරන් ලාල් 37, රිතුන්ජෝයි චෞද්‍රි 18/3, ශමීම් හොසේන් 8/3)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 33 කදී සියලු දෙනා දැවී 101
(අක්බර් අලී 23, රිතුන්ජෝයි චෞද්‍රි 21, අතර්වා අන්කොලෙකාර් 28/5, ආකාෂ් සිං 12/3)

යොවුන් ආසියානු කුසලාන ශූරයෝ

1989 - ඉන්දියාව (ඩකාහිදී)
2003 - ඉන්දියාව (ලාහෝර්හිදී)
2012 - ඉන්දියාව සහ පාකිස්තානය (ක්වාලා ලාම්පූර්හිදී)
2014 - ඉන්දියාව (සාජාහිදි)
2016 - ඉන්දියාව (කොළඹදී)
2017 - ඇෆ්ගනිස්තානය (ක්වාලා ලාම්පූර්හිදී)
2018 - ඉන්දියාව (මීර්පූර්හිදී)
2019 - ඉන්දියාව (කොළඹදී)

 


අදහස් (0)

යොවුන් ආසියානු කුසලාන ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.