Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චාහර්ගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි

චාහර්ගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීපක් චාහර්ගේ (07/6) වාර්තාගත පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව නාග්පූර්හිදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යාන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය. එම ජයත් සමගින් දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දීපක් චාහර් ඕවර 3.2 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 6 ක් දවාගත්තේ කඩුලු ත්‍රිත්වයක්ද සමගිනි.

චාහර්ගේ පන්දු යැවීම එදා මෙදා තුර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා අතරට එක් විය. ඒ සමගම විස්සයි20 තරගයකදී කඩුලු 6 ක් දවාගත් තෙවැනි පන්දු යවන්නා මෙන්ම ඉන්දියාව වෙනුවෙන් විස්සයි20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු පන්දු යවන්නා බවටද චාහර් පත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගනිමින් අජන්ත මෙන්ඩිස් පිහිටුවා තිබූ වාර්තාව මෙතෙක් විස්සයි20 තරගයක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වී තිබිණ. ඊට අමතරව ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගැනීමටද මෙන්ඩිස් සමත්ව සිටි අතර එංගලන්තයට එරෙහිව ලකුණු 25 කට කඩුලු 6 ක් දවාගැනීමට ඉන්දියාවේ යුස්වේන්ද්‍ර චාහල් සමත්වී තිබිණ.  

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු මොහොමඞ් නයීම් පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 81 ක් රැස්කළේය. මුල් කඩුලු 2 ලකුණු 12 ක් ඇතුළත බිඳවැටුණ අවස්ථාවේදී මොහොමඞ් මිතුන් (27) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද නයීම් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට ලොකේෂ් රාහුල් (52) සහ ශ්‍රෙයාස් අයියර් (62) සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 59 කි.
 
පන්දු 35 කදී වාර්තා වූ රාහුල්ගේ හයවැනි විස්සයි20 අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 33 කට මුහුණදුන් අයියර් සිය මංගල විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සැරසීය. මනීෂ් පාණ්ඬේ පන්දු 13 කදී නොදැවී ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 174
(ශිකර් ධවාන් 19, ලොකේෂ් රාහුල් 52, ශ්‍රෙයාස් අයියර් 62, මනීෂ් පාණ්ඬේ නොදැවී 22, සෞම්‍ය සාකර් 29/2, ශෆියුල් ඉස්ලාම් 32/2)

බංග්ලාදේශය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 144
(මොහොමඞ් නයීම් 81, මොහොමඞ් මිතුන් 27, දීපක් චාහර් 07/6, ශිවම් ඩූබේ 30/3)

-036

 


අදහස් (0)

චාහර්ගේ පන්දු යැවීම ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.