Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වි-20 සංචිතයට ස්මිත් - වෝනර් යළි කැඳවති

වි-20 සංචිතයට ස්මිත් - වෝනර් යළි කැඳවති

දමින්ද විජේසූරිය - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ සිය රටේදීම පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වන විස්සයි-20 තරගාවලි දෙක සඳහාම ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම බොහෝ ක්‍රිකට් කුසලාන දිනා ඇතත් විස්සයි-20 ලෝක කුසලානයක් දිනාගැනීමට තවමත් සමත් වී නැත.
 
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මේ මස 27 වැනිදා ඇඩිලේඞ් ඕවල් පිටියේදී ආරම්භ වේ. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර විස්සයි-20 තරග 3කි.
 
එංගලන්තයේදී පැවැති අළු බඳුන තරගාවලියේදී විශිෂ්ටතම ක්‍රීඩකයා වූ ස්ටීවන් ස්මිත් ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායකයා වන නමුත් මේ වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට පිවිසියේ වසරක තරග තහනමකට පසුවය. පසුගිය වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමට අනුමැතිය දීම හේතුවෙන් ස්මිත්ට වසරක තරග තහනමක් පැනවිණ.
 
කෙසේ වෙතත් ස්මිත් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් විස්සයි-20 තරගයක් සඳහා පිවිසෙන්නේ වසර 3 කට පමණ පසුවය. ටෙස්ට් සහ එක්දින තරග වලදී අති විශිෂ්ට පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින ස්මිත් විස්සයි-20 තරග 30 කට සහභාගි වී ලබා ඇත්තේ ලකුණු 431 ක් පමණි. ස්මිත්ට අමතරව ඬේවිඞ් වෝනර් මෙන්ම මිචෙල් ස්ටාක්ද ඕස්ටේ්‍රලියානු විස්සයි-20 සංචිතයට කැඳවනු ලැබ සිටිති. එහෙත් උස්මන් කවාජාට ස්ථානය අහිමි වී තිබේ.
 
“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ අවුරුද්දක විතර කාලයක්. මේ කණ්ඩායම තෝරා ගනිද්දී අපට ඒ ගැනත් හිතන්න වුණා” යයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ටේ‍රවර් හෝන්ස් මහතා පැවසීය.
 
මේ වසර මුලදී ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ මාකස් ස්ටොයිනිස්, ෂෝන් මාෂ්, ඩි’ආක්‍රි ෂෝට්, ජායි රිචඞ්සන්, පීටර් හැන්ඞ්ස්කොම්බ්, නේදන් කූල්ටර්නයිල් සහ නේදන් ලයන්ට ඕස්ටේ්‍රලියානු පිලේ ස්ථාන අහිමි වී තිබේ. එහෙත් ඕස්ට්‍රේලියානු දේශීය තරගාවලියේදී දස්කම් දැක්වූ බිලී ස්ටැන්ලේක්, බෙන් මැක්ඩොමට් සහ කේන් රිචඞ්සන් වැනි ක්‍රීඩකයන්ට දොර විවර වී ඇත.
 
ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ස්ටීවන් ස්මිත්, ඬේවිඞ් වෝනර්, ඇෂ්ටන් ආගර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩොමට්, කේන් රිචඞ්සන්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාක්, ඇෂ්ටන් ටර්නර්, ඇන්ඩෲ ටේ සහ ඇඩම් සම්පා

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
ඔක්තෝබර් 27 - පළමු විස්සයි-20 තරගය ඇඩිලේඞ්හිදී
ඔක්තෝබර් 30 - දෙවැනි විස්සයි-20 තරගය බි්‍රස්බේන්හිදී
නොවැම්බර් 01 - තුන්වැනි විස්සයි-20 තරගය මෙල්බර්න්හිදී

පාකිස්තානු කණ්ඩායමේ තරග කාලසටහන
නොවැම්බර් 03 - පළමුවැනි විස්සයි-20 තරගය සිඞ්නිහිදී
නොවැම්බර් 05 - දෙවැනි විස්සයි-20 තරගය මනුකා ඕවල් පිටියේදී
නොවැම්බර් 08 - තුන්වැනි විස්සයි-20 තරගය පර්ත්හිදී


අදහස් (0)

වි-20 සංචිතයට ස්මිත් - වෝනර් යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.