Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner උසේන් බෝල්ට් පාපන්දු පිටියට බසී

උසේන් බෝල්ට් පාපන්දු පිටියට බසී

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් රන් පදක්කම් 8 ක් දිනා මලල ක්‍රීඩා පිටියේ නොමැකෙන නමක් රැඳවූ උසේන් බෝල්ට්මලල ක්‍රීඩා පිටියෙන් සමුගැනීමෙන් පසුව පාපන්දු ක්‍රීඩාව තෝරාගෙන තිබේ. වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වෙමින් එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහින දකිමින් සිටින මෙම ජැමෙයිකානු ධාවන ශූරයා, පාපන්දු පිටියට පිවිසීම සඳහා ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් කණ්ඩායම තෝරා ගෙන තිබේ.

තමන් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වීම සම්බන්ධයෙන් සැක උපදවා සිටින අයට ‘වැරදිලා’ යයි පෙන්වාදීම තමන්ගේ අරමුණ බවද උසේන් බෝල්ට්ගේ අපේක්‍ෂාවයි.

මාධ්‍යවේදීන් පිරිවරාගෙන ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කොස්ට් මැරිනර්ස් කණ්ඩායමේ ක්‍රීඩාංගණයට පිවිසි බෝල්ට් පුහුණුවීම් වලට එක්විය. ඕස්ට්‍රේලියානු සිසිර සෘතුව තවමත් අහවර වී නැතත් මුහුදුබඩ නගරයක් වන ගොෂ්ෆෝර්ඞ්හිදී පැවැති ඉතා සැහැල්ලු පුහුණු සැසියකට බෝල්ට් එක්ව සිටියේය.

වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 ත් 6 ත් අතර කාලයේදීම පාපන්දු පිටියට පිවිසෙන නමුත් උසේන් බෝල්ට් පාපන්දු පුහුණුවට එක්වන විට අවුරුදු 3ද ඉක්මවා තිබිණ.

උසේන් බෝල්ට් ක්‍රීඩා කරන සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියට ක්‍රීඩා කරන නමුත් එහි පාපන්දු ලීගයේ අවසන් ස්ථානය අත්කරගත් කණ්ඩායමයි. මෙම තරගාවලියේ ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 කි. වසර 12 ක කාලයක් පුරා ලෝකයේ වේගවත්ම මිනිසා වීමේ කිරුළ දරා සිටියද පාපන්දු ක්‍රීඩාවේදී ඔහුට දිගු ගමනක් යා හැකිද යන්න බොහෝ දෙනා තුළ ඇත්තේ කුකුසකි.

විනාඩි 45 ක පමණ කාලයක් පුහුණුවීම් කිරීමේදී උසේන් බෝල්ට් අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් තරමක් ඈතින් සිට පුහුණුවීම් කරද්දී සෙසු ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියෙන් අඩක් යොදාගෙන එක් පිලකට 8 දෙනා බැගින් වූ සුහද තරගයක නිරත වූහ. ධාවන තරගයකදී පළමුවෙන්ම ඉදිරියෙන් තබන සිය වම් පාදය වැඩිපුර භාවිතා නොකළ උසේන් බෝල්ට්, සිය පුහුණු සැසියේදී වැඩිපුර කාලයක් ඇදීම් ව්‍යායාම කරමින් සිටියේය.

“එක පාරකට එකයි...මට නම් ඒක හරියට ජවන හා පිටිය තරගයක් වගේම තමා”
“පුහුණුවීම් කිරීමේ පළමු දිනය ටිකක් අමාරුයි තමා. ඒත් ඒ වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරන්න වෙනවාද කියන එක ගැන වැටහීමක් ලැබෙනවා” යයිද සිය පුහුණු සැසියෙන් පසුව උසේන් බෝල්ට් පැවසීය.
“කොහොම වුණත් මේ හැම දේම එක රැයකින් කරන්න බෑ. ඒකට කාලය ගතවෙනවා” යයිද උසේන් බෝල්ට් පැවසීය.

මේ අතර සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් ක්‍රීඩා සමාජයේ විවේචකයන් පවසන්නේ වසර 4 ක් පුරා තීරණාත්මක අදියරකට පිවිසීමට නොහැකි වූ ක්‍රීඩා සමාජය උසේන් බෝල්ට් සම්බන්ධ කරගැනීමෙන් අනවශ්‍ය අවධානයක් ලබාගැනීමට උත්සාහ කරන බවයි. ලන්ඩන් නුවරදී පසුගිය වසරේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව අන්තර්ජාතික මලල ක්‍රීඩා පිටියෙන් සමුගත් බෝල්ට්, ඉන් පසුව ජර්මනියේ, නොර්වේ සහ දකුණු අප්‍රිකාවේ පාපන්දු ක්‍රීඩා සමාජ සමගින් පුහුණුවීම් කළේය.

සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මයික් මල්වි මහතා සිටින්නේ සුබවාදී මතයකය. පුහුණුකරුවා කියන පරිදි මේ මස 31 වැනිදා පැවැත්වෙන පුහුණු සැසියේදී බෝල්ට මීට වඩා අවස්ථාවක් ලැබෙනු ඇත.

“මේ හාදයා ජයග්‍රාහකයෙක්” යයි කී පුහුණුකරු මල්වි  මහතා....“ඔබ රන් පදක්කම් කීයක් දිනලා තියෙනවාද?” යයි තමන් අසළ වාඩිවී සිටි උසේන් බෝල්ට්ගෙන් විමසීය.

“ඔලිම්පික් රන් පදක්කම් 8 ක්...හැකියාව විතරක් තිබුණාටම ඒ වගේ දෙයක් කරන්න බෑ. ඒකට අති විශාල මානසික ශක්තියකුත් තියෙන්න ඕනා...එයින් ඉතාම ස්වල්පයක් මගේ ක්‍රීඩකයන් වෙත බෙදා දෙන්න ඔහුට පුළුවන් නම්, ඒක අපේ තරුණ කොල්ලන්ට ඉතාමත් හොඳ දෙයක් වේවි” යයිද පුහුණුකරු මල්වි මහතා වාර්තාකරුවන්ට පැවසීය.

 

සැකසුම : දමින්ද විජේසූරිය


අදහස් (0)

උසේන් බෝල්ට් පාපන්දු පිටියට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.