Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බෝල්ට් සමුගැනීමේ සාදයට සැරසෙයි

බෝල්ට් සමුගැනීමේ සාදයට සැරසෙයි

Nisanka Sandeepani - 2017 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා මීටර් 100 සහ 200 කෙටිදුර ධාවනපථයේ ජයකෙහෙළි නැංවූ ජැමෙයිකානු ධාවන ශූර උසේන් බෝල්ට් හෙට (4) ලන්ඩන් නුවරදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගනී.

වසර 2009 ජර්මනියේ බර්ලින් නුවර දී මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.58 කින් නිමාකරමින් තැබූ ලෝක වාර්තාව තවමත් ඔහු සතුය. එපමණක් නොව එම ක්‍රීඩා උළෙලේදීම මීටර් 200 තරග ඉසව්ව තත්පර 19.19 කින් නිමාකරමින් තැබූ ලෝක වාර්තාවත් ඔහුගේය. ඊට අමතරව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ජැමෙයිකාවේ මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම හා එක්ව එම ඉසව්ව තත්පර 36.84 කින් නිමාකර තැබූ ලෝක වාර්තාවත් තවමත් නොබිඳී පවතින්නකි. 

30 හැවිරිදි මේ ජැමෙයිකානුවා දස වසරකට ආසන්න කාලයක් පුරා ඔලිම්පික් උළෙල ඇතුළුව තවත් අන්තර්ජාතික තරග ඉසව් ගණනාවක්ම දිග්විජය කළේ සෙසු ප්‍රතිවාදීන්ට හැරෙන්නටවත් ඉඩ නොතබමිනි. කෙසේවෙතත් හෙට ඇරැඹෙන ලෝක ශූරතාවලියේදී සිය තරග දිවියේ හංස ගීතය ගැයීමට බලා සිටින මේ විනෝදකාමී ක්‍රීඩකයා සිය අනඟිබවනීත්වය රැක ගනිමින් පිටියෙන් නික්ම යනු ඇත.

‘සදහටම වේගවත්‘ යන උද්යෝග පාඨයට හිමිකම් කියන උසේන් බෝල්ට් සිය අවසන් තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීමේ තිර අදිටනින් පසුවන බව ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ දැඩි විශ්වාසනීයත්වයකින් යුතුවය.

‘මට විශ්වාසයි. පරාජයක් මේ පාරත් සිද්ධවෙන්නේ නෑමයි”

“අන්තිම රේස් එක මම නිමා කළේ තත්පර 9.95 කින්. ඒ කියන්නේ මම තවම නිවැරැදි පාරේ ගමන් කරමිනුයි ඉන්නේ. මම මීට කළින් මෙහේ (ලන්ඩනයේ) ඇති තරම් දුවලා තියෙනවා. මම දන්නවා මම හොඳ සූදානමකින් ඉන්නවා කියලා.” යයි බෝල්ට් කීවේය.

“ඒත් ආපහු සැරයක් මිනිස්සු කියන්න පටන් අරගෙන මට මේ රේස් එක ෂුවර් නෑ කියලා. ඒ ගැනයි මම හිත හිතා ඉන්නේ. ඒකම තමයි මගේ කණ්ඩායමේ අයත් මට කිය කියා ඉන්නේ. ඉතිං මට සිද්ධවෙනවා ආපහු සැරයක් ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්වන්න.” යයිද උසේන් බෝල්ට් පැවසීය.

 

- 077


අදහස් (0)

බෝල්ට් සමුගැනීමේ සාදයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.