Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු ආසියානු පාපන්දු තරග හෙට සිට

දකුණු ආසියානු පාපන්දු තරග හෙට සිට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය හෙට (සැප් 4 දා) බංග්ලාදේශයේ ඩකා අගනුවර බංගාබන්දු ජාතික ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි. සැප් 4 සිට සැප් 15 දක්වා දින 12ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථානය හැර දකුණු ආසියානු කලාපයේ සෙසු සියලුම රටවල් සහභාගී වීමට නියමිතය.

ඒ අනුව සත්කාරක බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ පකිස්ථානය ‘ඒ’ කාණ්ඩයෙන්ද ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින ‘බී’ කාණ්ඩයෙන් ද තරගාවලියට සහභාගී වනු ඇත.

දකුණු ආසියානු කලාපීය රටවල් අතර ක්‍රියාත්මක කෙරෙන ප්‍රධානම පාපන්දු තරගාවලිය මෙය වන අතර වසර දෙකකට වරක් මෙය සංවිධානය කෙරෙන්නේ කලාපීය රටවල් අතර අකාරාදී පිළිවෙල අනුවය. 1993 වසරේ පකිස්ථානයෙන් ආරම්භ වූ දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියට මේ වන විට වසර 25ක් සම්පූර්ණ වී ඇත.

ගත වූ වසර 25 ඇතුළත 11 වරක් පවත්වා ඇති මෙම තරගාවලියේදී ශ්‍රීලංකාව ශූරතාව දිනා ගෙන ඇත්තේ එක් වරක් පමණි. ඒ 1995 වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේදීය. එවර ඉන්දියාව ගෝල් 1-0 කින් පරදා ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ හැර ශ්‍රී ලංකාව 1993 වසරේ පකිස්තානයේ ලාහෝර්හි පැවති සමාරම්භක තරගාවලියේදී ශ්‍රී ලංකාව අනු ශූරතාව හිමිකර ගෙන තිබේ.

වැඩිම වාර ගණනක් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත්තේ ඉන්දියාවයි. 1993 ආරම්භක තරගාවලියේ සිට අවස්ථා 7ක් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. (1993, 1997, 1999, 2005, 2009, 2011 සහ අවසන් වරට පැවති 2015) ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය (2003), මාලදිවයින (2008) සහ ඇෆ්ගනිස්ථානය (2013) ආදී රටවල්ද ශූරතාව දිනා ගෙන ඇත. නේපාලය, පකිස්ථානය සහ භූතානයට කිසිදු අවස්ථාවක ශූරතාවය දිනා ගැනීමට නොහැකි වී ඇත.

ආරම්භයේදී රටවල් 7ක සහභාගිත්වයේ පැවැත්වූ මෙම තරගාවලිය සඳහා වසර 2005දී ඇෆ්ගනිස්ථානය එකතු වූ අතර, අවසන් වරට පැවති 2015 තරගාවලියෙන් පසු එම කණ්ඩායම දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් ඉවත් වී සිටී. ඇෆ්ගනිස්ථානය 2013 වසරේදී ශූරතාවයද, 2011 සහ 2015 වසරවල අනු ශූරතාවයද දිනා ගැනීමට සමත් විය.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ඉතිහාසය අනුව ශ්‍රී ලංකාව එදා මෙදා පැවති සෑම තරගාවලියකටම සහභාගී වී ඇත. මෙතෙක් පැවති තරගාවලි 11 ක් යටතේ තරග 35කට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉන් ජය ගෙන ඇත්තේ තරග 13 ක් පමණි. තරග 5 ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ඇති ශ්‍රී ලංකාව  තරග 17 කින් පරාජය වී තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය :ත්‍ෂත්‍්* විසින් 2018 අගෝස්තු 19 දින නිකුත් කරන ලද ජගත් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ලොව රටවල් 206කින් 200 වැනි ස්ථානයයි.

ජගත් වර්ගීකරණය අනුව දකුණු ආසියාවේ සෙසු රටවල් වන ඉන්දියාව (96), මාලදිවයින (150), නේපාලය (161), භූතානය (183), බංග්ලාදේශය (194) යන ස්ථානවල සිටින අතර 201 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ පකිස්ථානයයි.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියක් බංග්ලාදේශය සංවිධානය කරනු ලබන්නේ 3 වැනි වරටය. 2003 වසරේදී ප්‍රථම වරට තරගාවලිය සංවිධානය කර ඇති අතර අවසන් වරට 2009 වසරේදී එහි සත්කාරකත්වය උසුලනු ලැබීය.

මෙවර තරගාවලියේ සෑම තරගයක්ම (තරග 12) පවත්වනු ලබන්නේ එරට ප්‍රධානම ක්‍රීඩාංගණය වන බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදීය. ක්‍රිකට් සහ පාපන්දු වලට ප්‍රසිද්ධියක් උසුලන බංගබන්දු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 40000 කට තරග නැරඹීමේ අවස්ථාව හිමි වෙයි.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 50000ක මුදලක් පිරිනමන අතර, අනු ශූරයින්ට පිරිනැමෙන මුදල ඇමෙරිකානු ඩොලර් 50000 කි.

තරගාවලි 7ක ශූරතාව දිනා ඇති ඉන්දියාව කෙරෙහි මෙවරත් ප්‍රේක්ෂක අවධානය යොමු වී ඇති බවට වාර්තා වන නමුදු ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවට වයස අවු 23න් පහළ බහුතරයක් සිටින යොවුන් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති හෙයින් තරගාවලියේ ජයග්‍රහණය දැන් විවෘත වී ඇතැයි පැවසේ.


තරග කාල සටහන

සැප්. 4    ප.ව 4.00 - නේපාලය සහ පකිස්ථානය
        ප.ව 7.00 - බංග්ලාදේශය සහ භූතානය        
සැප්. 5    ප.ව 7.00 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
සැප්. 6    ප.ව 4.00 - නේපාලය සහ භූතානය
        ප.ව 7.00 - බංග්ලාදේශය සහ පකිස්ථානය    
සැප්. 7    ප.ව 7.00 - ශ්‍රී ලංකාව සහ මාලදිවයින
සැප්. 8    ප.ව 4.00 - පකිස්ථානය සහ භූතානය    
        ප.ව 7.00 - බංග්ලාදේශය සහ නේපාලය
සැප්. 9    ප.ව 7.00 - ඉන්දියාව සහ මාලදිවයින
සැප්. 10 හා 11  විවේක දිනයන්
සැප්. 12    ප.ව 4.00 - ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් අතර පළමු    අවසන් පූර්ව තරගය
ප.ව 7.00 - ‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් අතර දෙවැනි අවසන් පූර්ව තරගය
සැප්. 13 හා 14 විවේක දිනයන්
සැප්. 15    ප.ව 7.00 - අවසන් තරග

 


අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.