Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ක්‍රොඒෂියාව හමුවේ ප්‍රංශය අවදානම් ගමනක

ක්‍රොඒෂියාව හමුවේ ප්‍රංශය අවදානම් ගමනක

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 1998 දී පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට දිනාගැනීමට නායකත්වය දුන් ඩිඩියර් ඩෙස්චැම්ප්ස්ගේ එකම සිහිනය බවට පත්වී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී හෙට (15)  පැවැත්වෙන ක්‍රොඒෂියාවට එරෙහි අවසන් මහා තරගයේදී පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට අත්කර දීමය. ඉතිහාසය නැවත පෙළගැස්වීමට බලා සිටින ඩෙස්චැම්ප්ස් කියන්නේ වෙනසකට ඇත්තේ එවර අවසන් පූර්ව තරගයේදී මුණ ගැසුණු ක්‍රොඒෂියාව මෙවර අවසන් මහා තරගයේදී මුණ ගැසීම පමණක් බවයි.

ඔහු යටතේ ප්‍රංශය තරග වදින තුන්වැනි ප්‍රධානතම තරගාවලිය මෙය වන අතර හෙට  ලෝක කුසලානය දිනාගෙන ක්‍රීඩකයකු හැටියත්, කළමනාකරුවකු හැටියටත් එවැනි හපන්කමක් කළ ලොව තුන්වැනි පුද්ගලයා බවට පත්වීමට ඩිඩියර් ඩෙස්චැම්ප් බලා සිටී.

ලෝකය පුරා පාපන්දු ලෝලීන් මාසයක් තිස්සේ උන්මාදයට හා කුතුහලයට පත් කළ 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව් නුවරදී හෙට නිමාවට පත්වන්නේ ප්‍රංශය හෝ ක්‍රොඒෂියාව ශූරයන් බවට පත් කරමිනි.

ප්‍රංශය මීට පෙර පස්වතාවක්ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පැමිණීමට සමත්වූ අතර අවස්ථා දෙකකදී අවසන් මහා තරගයටත් එක්විය. 1998 වසරේදී ලෝක කුසලානය දිනාගත් ප්‍රංශය 2006 දී ඉතාලිය හමුවේ පරාජයට පත්වී අනුශූරයෝ වූහ.

ඊට පෙර මුලින්ම 1958 තරගාවලියේ තුන්වැනි ස්ථානය ලබාගත් ප්‍රංශය 1982 තරගාවලියේ සිවුවැනි තැනත්, නැවත 1986 තරගාවලියේ තුන්වැනි තැනත් අත්පත් කරගත්තේය. ප්‍රංශයට අවසන් තරගවල අත්දැකීම් තිබුණත් ක්‍රොඒෂියාව හෙට තරගයට එක්වන්නේ එහෙම පිටින්ම කෝඩුකාරයන් ලෙසිනි. ක්‍රොඒෂියාවට ඇති වාසියත් ප්‍රංශයට ඇති අවදානමත් එයයි.

1998 දී අවසන් පුර්ව තරගයට එක්ව ප්‍රංශය හමුවේ පරාජයට පත්වී පසුව නෙදර්ලන්තයට එරෙහිව ජය ලබා තුන්වැනි තැන ලැබූ මේ කුඩා රාජ්‍යයය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වෙයි.

ප්‍රංශය ලෝක කුසලානයට අමතරව යුරෝපා කුසලාන, අන්තර්ජාතික පාපන්දු සම්මේලන කුසලාන, ඔලිම්පික් පාපන්දු රන් පදක්කම, අවුරුදු 20න් පහළ සහ 17න් පහළ පාපන්දු ලෝක කුසලාන දිනා සිටියත් ක්‍රොඒෂියාවට නම් මේ එකක්වත් නැත.

ප්‍රංශය අවසන් මහා තරගයට එක්වන්නේ ශක්තිමත් සහ ජනප්‍රියතම කණ්ඩායම ලෙසටය. එහෙත් හිටි හැටියේම තරගය අනාගන්නා බැවින් ප්‍රංශ පිලේ ජයග්‍රහණය ගැන ක්‍රීඩාලෝලීන් තුළ ඇත්තේ අවිශ්වාසයකි.

2016 යුරෝ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී සිය භූමියේ පැවැත්වෙන වාසියවත් ගැනීමට නොහැකිවූ ප්‍රංශය අන්තිමේදී පෘතුගාලය හමුවේ පරාජයට පත්විය. එය ප්‍රංශයේ ක්‍රීඩාලෝලීන්ගේ සිත්තුළ තවමත් වේදනාකාරී මතකයක් බවට පත්වී තිබේ.

එංගලන්තයට එරෙහිව පැවැති අවසන් පුර්ව තරගයේදී ක්‍රොඒෂියාව ක්‍රීඩා කළ ආකාරය බැලූ විට හෙට තරගයේදී තම බලාපොරොත්තු ඉටු කරගැනීම සෑහෙන අසීරු කාරණාවක් වන බව ප්‍රංශ ක්‍රීඩකයෝ හොඳින්ම දනිති. එසේ වුවත් 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක කයිලාන් බාපේ තමා දැනටමත් අනාගතයේ සුපිරිම පාපන්දු තරුව බව පෙන්නුම් කිරීම ප්‍රංශයේ ලෝක කුසලාන සිහිනවලට ජීවය ගෙන දුන් කාරණාවකි.

ඇන්ටෝනි ග්‍රීස්මාන්, සැමුවෙල් උම්ටිටි, රෆායල් වරානේ, ලූකාස් හර්නැන්ඩිස්. පෝල් පෝග්බා හෙට තරගයේදී කවරාකාරයේ පෙරළියක් කරන්නේදැයි කිසිවකුටත් සිතා ගත නොහැකිය. ග්‍රීස්මාන් සහ බපේ ප්‍රංශය වෙනුවෙන් මෙවර තරගාවලියේ ගෝල 3 බැගින් ලබා සිටිති. අවසන් මහා තරගයේ උණුසුම එන්න එන්නම වැඩිවෙද්දී කුසලානය ප්‍රංශයට හිමිවන බවට පළවන අනාවැකි ප්‍රමාණයත් අහස උසට නගිමින් තිබේ.

මිලියන 4.17 ක ජනගහණයක් ඇති කුඩා රටක් වන ක්‍රොඒෂියාව හෙට තරගයට එක්වන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු ලොව කුඩාම දෙවැනි රට ලෙසිනි. ඊට පෙර 1930 දී උරුගුවේ පිල අවසන් තරගයට එක්වෙද්දී එරට මුළු ජනගහණය මිලියන 1.7 ක් පමණි.

එසේ වුවත් ලූකා මොඞ්රික්ගේ ජව සම්පන්න නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ක්‍රොඒෂියාව බිලියන ගණනාවක ලෝක පාපන්දු ප්‍රජාව එහෙම පිටින්ම අන්දමන්ද කරවීමට බලාපොරොත්තු වෙයි. හෙට තරගයේදී ජනප්‍රියතම කණ්ඩායමේ ලේබලය ප්‍රංශයට ඇලවී තිබුණත් අවසන් මොහොත දක්වා කුසලානය වෙනුවෙන් සටන් කිරීමට බලා සිටින ක්‍රොඒෂියාව ගැනත් විචාරකයන්ගේ යොමුවී ඇත්තේ සුලුපටු අවධානයක් නොවේ.

නායක ලූකා මොඞ්රික්, ඉවාන් පෙරිසික් සහ මරියෝ මැන්ඞ්සුකික් තිදෙනාම හෙට තරගයේදී ක්‍රොඒෂියාවේ විශාලතම බලාපොරොත්තුව බවට පත්වී සිටිති. මේ තිදෙනාම ගෝල් 2 බැගින් රැස් කිරිමට සමත්වී ඇති අතර හෙට තරගයේදී ප්‍රංශයට ලොකුම තර්ජනය බවටත් පත්වනු ඒකාන්තය. අනිත් අතට මැදපෙල ක්‍රීඩක ඩියෑන් ලොරේන් සහ ඉවාන් රැකිටික් ක්‍රොඒෂියානු පිලේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෝ වෙති. මීට මාස 9කට පෙර ක්‍රොඒෂියානු පිලේ කළමනාකරු ලෙස පත්වූ ස්ලැට්කෝ ඩැලික් මේ කෙටි කාලය තුළ සිය කණ්ඩායම රැගෙන ගිය සාර්ථක ගමන්මග විචාරකයන්ගේ පවා නළල් තල රැලිගැන්වූ එකකි. හෙට එළැඹෙන්නේ එහි කූඨප්‍රාප්තිය බව කවුරුත් දනිති.

 

සැකසුම - මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

ක්‍රොඒෂියාව හමුවේ ප්‍රංශය අවදානම් ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.