Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner එංගලන්තය තුන්වැනි තැන සොයයි

එංගලන්තය තුන්වැනි තැන සොයයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා බෙල්ජියමට එරෙහිව සාන්ත පීටර්ස්බර්ග් නුවරදී අද (14 වැනිදා) පැවැත්වෙන තරගය තම කණ්ඩායම බලාපොරොත්තු වූ තරගය නොවූවත් රට වෙනුවෙන් හැකි ඉහළම ගරුත්වය ලබා දෙමින් තරගාවලියෙන් සමුගැනීමට තීරණය කළ බව එංගලන්ත පිලේ නායක හැරී කේන් කියයි.

අවසන් පුර්ව තරගයේදී ක්‍රොඒෂියාව හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් අන්දමන්ද වී ගිය එංගලන්තය තුන්වැනි ස්ථානය සඳහා තරගයට ක්‍රීඩා කරන්නේ අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගය දිහා බලන්නේ වත් නැතැයි සිතාගෙනය.  

“හැමෝම බලා ඉන්නේ හෙට තරගයට ක්‍රීඩා කරන්නයි. ඒත් කළමණාකරු තමයි කණ්ඩායම තෝරන්නේ..... ඇත්තම කියනවානම් අවසන් තරගයට ආවේ නැතත්,  අප මේ ලැබූ ජයග්‍රහණ මාලාව ගැන සෑහීමකට පත්වෙනවා.” යයි හැරී කේන් කීවේය.

“අපි පාපන්දු ක්‍රීඩාවෙන් රටේ නම රැක ගත්තා. අපිට හිස කෙළින් කරගෙන ගෙදර යන්නත් පුළුවනි. ඒත් අපි දන්නවා අපිට තිබුණු හොඳම අවස්ථාවක් නැතිවුණා කියලා......ඒ නිසා මං අපේ කොල්ලන්ට කියන්නේ තව දියුණු වෙන්න ඕනා කියලයි” යයිද එංගලන්ත නායකයා කීවේය.

අත්දැකීම් නොමැති කණ්ඩායමක් ලෙසින් රුසියාවට පැමිණ මේ දැක්වූ දස්කම් හොඳටම ප්‍රමාණවත් බව කියන හැරී කේන් ප්‍රධාන තරගාවලියකදී ඕනෑම දෙයක් කිරීමට එංගලන්ත පිලට ඇති හැකියාව ගැන දැන් හොඳ විශ්වාසයක් ඇතැයි ද පැවැසීය.

බෙල්ජියම සහ එංගලන්තය මෙවර තරගාවලියේදී නැවත තරග වදින්නේ දෙවැනි වතාවටය. ‘ජි‘ කාණ්ඩය යටතේ මූලික වටයේදී දෙපිලම එකම කාණ්ඩයකින් තරග වැදුණු අතර එම තරගයෙන් ගෝල 1-0 ක ජයක් වාර්තා කළේ බෙල්ජියමය.

ප්‍රංශය හමුවේ පැවැති අවසන් පූර්ව තරගයෙන් ගෝල් 1-0 කින් පරාජයට පත්වූ බෙල්ජියම අද තරගයේදි තම කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමට මාන බලමින් සිටී. ඒ අතරතුරම වසර 1966 න් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉහළම ජයග්‍රහණය එංගලන්තයට අත්කරදීමට හැරී කේන් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ අධිෂ්ඨානය වී තිබේ.

සිය කණ්ඩායමේ කණගාටුදායක පරාජයෙන් පසුව යළි ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් පසුවන බෙල්ජියමේ පිලේ කළමනාකරු රොබේටෝ මාර්ටිනස් තුන්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කරගැනීමට හැකිවන්නේ නම් එය ආඩම්බරයට කරුණක් වනු ඇතැයි කීවේය.

 

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

එංගලන්තය තුන්වැනි තැන සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.