Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ආක්‍රමණිකයෝ ප්‍රතිවාදීන් දමනයට සැලසුම් හදති

ආක්‍රමණිකයෝ ප්‍රතිවාදීන් දමනයට සැලසුම් හදති

Nisanka Sandeepani - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ප්‍රංශයේ සහ බෙල්ජියමේ ආක්‍රමණශීලී ප්‍රතිභාව සැළකිල්ලට ගැනීමේදී මෙම යුරෝපීය කණ්ඩායම් අතර ශාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේ අද (10) ‍පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගෝල වැඩි ගණනක තරගයක් බවට පත්වනු ඇතැයි පෙනෙන්නට තිබේ.
 
ප්‍රංශයේ කයිලාන් බාපේ සහ බෙල්ජියමේ ඊඩ්න් හසාඩ් මේ තීරණාත්මක තරගයේදී ආක්‍රමණයේ  වැඩි කොටසක් කරපින්නා ගනු ඇත. 
 
වසර 32 කට පෙර, එනම් 1986 තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා මේ රටවල් දෙක අතර පැවැති තරගයෙන් ප්‍රංශය ගෝල 4-2 ක ජයක් වාර්තා කිරීම ගැනත් අද තරගයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක්වනු ඇත. මක්නිසාද යත් එය ප්‍රංශය හා බෙල්ජියම ලෝක කුසලාන තරගයකදී එකිනෙකා මුණගැසුණු අවසන් අවස්ථාව වූ බැවිනි. 
 
ඉන් පසුව දෙපළ අතර මිත්‍රශීලී තරග 8 ක් පවත්වා තිබේ. බෙල්ජියම එම සුහද තරග අතරින් දෙකක් ජයගත් අතර ඉන් එකක් පැවැත්වූයේ ප්‍රංශයේය. එම තරගයෙන් බෙල්ජියම පළමු භාගයේදී ගෝල 3-0 කින් පෙරමුණ ගත් අතර දෙවැනි භාගය නිමාවෙද්දී ගෝල 4-3ක ජයක් අත්කර ගත්තේය.
 
වසර 2006 න් පසුව ප්‍රංශය කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව මෙවර ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 19 හැවිරිදි ඉදිරිපෙළ ක්‍රීඩක කයිලාන් බාපේට පින්සිදු වන්නටය.  අත්දැකීම් රහිත වූවත් ආක්‍රමණශීලී ක්‍රීඩකයන් වන බෙන්ජමින් පවාර්ඩ්ගේ සහ ලූකාස් හර්නැන්ඩිස්ගේ සහයත් නොඅඩුව ලැබිණි. 
 
‘‍‍‘අපි කාටත් බය නෑ.‘ පවාර්ඩ් එසේ කීවේ අද තරගය ගැනය. 
‘‘ආරම්භයේ ඉඳලම තරගය අතට ගැනීමට හැකි බවට අපිට විශ්වාසයක් තිබෙනවා. අපිට අපි ගැන කිසිම ප්‍රශ්නයකුත් නෑ‘‘ ඔහු එසේ ද කීවේය.
 
වසර 1998 දී ප්‍රංශය ලෝක ශූරයන් වෙද්දී නායකත්වය දැරූ වත්මන් කළමනාකරු ඩිඩියර් ඩෙස්චැම්ප්ස්ගේ මානසිකත්වයත් ඇත්තේ ඉහළ තලයකය. ඔහු 2000 වසරේදී යුරෝපා ශූරතාවලියේදීත් සිය කණ්ඩායමට කුසලානය දිනාගැනීමට නායකත්වය ලබා දුන්නේය.
 
‘‘ඔහු අපේ බලඈණිය ශක්තිමත් වචනවලින් නිතරම දිරිමත් කරවනවා. අපි ඔහු සමග මේ යුද්ධයට යාමට සූදානම්.‘‘ පවාර්ඩ් සිය කළමනාකරු සම්බන්ධයෙන් එසේ කීවේය.
 
පවාර්ඩ් දකුණු පසිනුත්, හර්නැන්ඩිස් වම් පසිනුත් තරගය ආරම්භ කිරිමට යෙදවීමට ඩෙස්චැම්ප්ස් ඉතා නිර්භීත තීරණයක් ගෙන තිබේ. මේ දෙදෙනා පිළිවෙළින් ජාත්‍යන්තර තරග 22 කට සහ 20 කට ක්‍රීඩා කර ඇති අතර බෙල්ජියමේ රතු යකුන් බිමට පෙරළා දැමීමට තරම් සමත්කම් දක්වන්නෝ වෙති. 
 
බෙල්ජියම කණ්ඩායම දෙස බැලූවිට තනි තනි වශයෙන් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉස්මතු කරගෙන සමස්ත කණ්ඩායම ශක්තිමත් කිරීමට කළමනාකරු රොබේටෝ මාර්ටිනන්ස්ට ඇති හැකියාව  ගැන තරමක සැකයක් මතුවෙයි.  ඔහුගේ ධුර කාලය ආරම්භ වූයේ සිය රටේදීම ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-0 කින් ලැබූ පරාජයත් සමගය. නමුත් ඊට පසුව බෙල්ජියම තරග 23 ක් පුරා සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත්වූ අතර මෙම තරග වලදී ලබාගත්  ගෝල සංඛ්‍යාව 78 කි. ආසන්න වශයෙන් තරගයකදී ගෝල 3.4 කි. එනම් තරග 10 කට ගෝල 34 කි. 
 
ඔවුන්ට ගෝලයක් ලබාගත නොහැකිවූයේ මේ තරගවලින් එක් තරගයකදී පමණි. බෙල්ජියම ආක්‍රමණිකයන්ගෙන් ගහණ යයි කීවේ එබැවිනි. 
 
ප්‍රංශයේ හිටපු ප්‍රහාරකයා වන ක්‍රීඩක තියරි හෙන්රි සහාය පුහුණුකරු ලෙස එක්වීමත් සමග බෙල්ජියම මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 5 දී ගෝල 14 ක්ම වාර්තා කර තිබේ. තියරී හෙන්රි යනු ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයාය. ඔහු ලැබූ ගෝල සංඛ්‍යාව 51 කි. 
හෙන්රිගේ කැමැත්ත වන්නේ  කණ්ඩායම නිතරම ආක්‍රමණශීලිවීම බව ප්‍රංශ පාපන්දු සංගමයේ සභාපති නොයෙල් ලේ ග්‍රීට් කීවේ බෙල්ජියම පිලට ඔහුගේ දායකත්වය ගැනය. කළමනාකරු මාර්ටිනන්ස් සිටින්නේ ද එතැනය.
 
මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ තරගය අතරතුර ජපානය හමුවේ ගෝල 2-0 කින් පසුබෑමකට ලක්වී සිටියදී මාටිනන්ස් පිටියේ ඈත කොනේ සිටි ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට මැදපෙළ ක්‍රීඩකයන් දෙදෙනකු යෙදවිය. පසුව ඒ දෙදෙනාම ගෝල ලබාගත්හ. 
 
හෙට තරගයේදී වඩාත්ම කාර්යබහුල ක්‍රීඩකයන් බවට බෙල්ජියමේ ගෝල රකින තිබෝ කෝටිස් සහ ප්‍රංශයේ අංක එකේ ගෝල රකින්නා වන හියුගෝ ලෝරිස් පත්වනු සහතිකය. ලොරිස් පසුගිය වසර පුරාම සිය රාජකාරිය අකුරට ඉටු නොකළ බවට විවේචන රැසක් එල්ල වී තිබිණි. 
 
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු විසින් ඈත සිට එල්ල කරන ලද පහරින් පන්දුව තමා පසුකරන තුරු ලෝරිස් නිසොල්මනේ බලා සිටියේය. එහෙත් වාසනාවකට එය වැදුණේ ගෝල් කණුවේය. එසේ වුවත් උරුගුවේ පිල සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෝරිස් සිය අණසක පතුරුවාලීමට සමත්විය. විස්මිත අයුරින් ගෝල කිහිපයකුත් වළක්වා ගත්තේය.
 
බෙල්ජියමේ ආරක්ෂක ක්‍රීඩකයන් වන වින්සන්ට් කොම්පැනිගේ, ජැන් වර්ටොන්හෙන්ගේ සහ මොරින් ෆෙලානිගේ උසත්, හිසින්  පන්දුව පාලනය කිරීමට ඇති හැකියාවත් අති විශිෂ්ටය. 
 
බෙල්ජියමේ ගෝල රකින කෝටිස් තරගාවලියට එක්වූයේ ප්‍රමුඛතම ගෝල රකින්නකු බවට අලවාගත් ලේබලයත් සමගය.  බ්‍රසීලය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී එය වඩාත් පැහැදිලිව පෙන්නුම් කෙරිණි. එහෙත් ප්‍රංශයේ ප්‍රහාරාත්මක ක්‍රීඩක ඔලිවර් ගිරෝඩ් සිතන්නේ ලෝරිස් දස්කම් අතින් කෝටිස්ට වඩා ඉදිරියෙන් සිටින බවය.
 
‘‘මේ දෙන්නම හොඳ ගෝල රකින්නෝ. නමුත් හියුගෝ වඩාත් භයානකයි.‘‘ ගිරෝඩ් එසේ කීවේය.
 
‘‘හියුගෝ තමයි හොඳම ගෝල රකින්නා.‘‘ එසේ කියන අතරතුර ඔහු තම ප්‍රකාශය ගැන තිබෝට් කෝටිස්ට කනගාටුවත් පළ කරයි. ‘‘කණගාටුයි තිබෝට්...‘‘
දෙපිලේ ක්‍රීඩකයන් ගැන තක්සේරුව එසේ වුවත් ප්‍රංශයේ බාපේ සහ බෙල්ජියමේ හසාඩ් ගැන ඇත්තේ ඊටත් වඩා ඉහළ මතයකි.
 
ඉදිරිපෙළ ක්‍රීඩකයන් අතර තරුවක් වන ඊඩ්න් හසාඩ් වඩාත්ම ප්‍රචලිත වී සිටින්නේ ඔහුගේ ආක්‍රමණශීලී භාවය නිසාය. නමුත් ඔහු බෙල්ජියමේ ආරක්ෂක වළල්ලට කදිම ආයෝජනයකි. ඔහු ඉතා වේගවත් ක්‍රීඩකයෙකි. ඔහුගේ ඉක්මන් පාද චලනය, හදිසියේම ගමන් මාර්ගය වෙනස් කිරිමෙන් ප්‍රතිවාදින් මුලාවට පත් කිරීම පුදුමාකාරය. ඔහුව බිමට ඇද දැමීම හිතන තරම් පහසු නැත. එය බොහෝ විට නිමාවන්නේ සිය පිලට දඬුවම් පහරක් ලැබීමෙනි. 
 
ප්‍රංශයේ ඔලිවර් ගිරෝඩ් මෙවර තරගාවලියේදී තවම ගෝලයක් වාර්තා කළේ නැත. නමුත් පන්දුව තමා වෙතම රඳවා තබා ගනිමින් එය නිසි වෙලාවට බාපේට ලබාදීමට ඔහුට කදිම හැකියාවක් තිබේ. එය ඇන්ටෝනි ග්‍රීස්මාන්ට ප්‍රතිවාදී වළල්ලෙන් මිදී තමා වටා සෑහෙන හිඩැසක් පවත්වාගැනීමටත් රුකුලක් සපයයි. ඒ අතරතුර පන්දුව ග්‍රීස්මාන් වෙතට යොමු කිරීමට බාපේට කදිම පසුබිමක් නිර්මාණය වෙයි. 
 
‘‘මම නිතරම උත්සාහ ගන්නේ මගේ කණ්ඩායම් සගයන්ට හිඩැස් නිර්මාණය කර දෙන්නයි.  ඒක මගේ පරාර්ථකාමී ගතියක්.‘‘ යයි ගිරෝඩ් කීවේය.
 
සිනේඩින් සිඩෑන් පසු කිරීමට ගිරෝඩ්ට අවශ්‍ය තවත් එක් ගෝලයක් පමණි. දෙදෙනාම දැන් ජාත්‍යන්තර තරගබිමේ ගෝල 31 බැගින් ලබා සිටිති. මේ දෙදෙනාම ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයන් අතර සිවුවැනි තැන සිටිති.
 
ප්‍රංශයේ රෆායල් වරානේට අනුව අද තරගයේදී රොමේලු ලුකාකු සෑහෙන හිසරදයකි. මේ විශිෂ්ට ක්‍රීඩකයා රුසියාවට පැමිණියේ සිය ශක්තිසම්පන්නභාවයත් අරගෙනය. ඔහු මේ දක්වා ගෝල 4 ක්ම රැස් කිරීමට සමත්වී සිටින අතර තවත් ගෝල කිහිපයකටම නොමඳ දායකත්වයක් ලබා දුන්නේය. වරානේගේ කල්පනාව අදතරගයේදී ලුකාකු පාලනය කරගන්නා ආකාරය ගැනය. 
 
‘‘බෙල්ජියම ගොඩාක් තරුණයි. නමුත් එයාලා පරිණතයි. අපි දන්නවා හෙට තරගය සෑහෙන අසීරු එකක් වේවි කියලා. ඒත් වේලාසනින්ම ලුකාකු දමනය කරගන්න හැකිවේ නම් අපිට සෑහෙන්න සහනයක් ලැබේවි. ඔහුට කිසිම බුරුලක් නොදී ඉන්නයි  අපේ කල්පනාව.‘‘ වරානේ එසේ කීවේය.
 
ප්‍රංශයේ ග්‍රීස්මාන් දඬුවම් පහර දෙකක් වාර්තා කරමින් ද, රෆායල් වරානේට ගෝලයක් වාර්තා කිරීමට පසුබිම සපයමින්ද උරුගුවේ සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී විශාල දායකත්වයක් දුන්නේය. නමුත් 2016 යුරෝපා පාපන්දු ශූරතාවලියේ පෘතුගාලය හමුවේ පරාජයට පත්වූ අවසන් මහා තරගයේදී ඔහු දැක්වූ දස්කම් තවමත් පෙන්නුම් කර නොමැත. 
 

අදහස් (0)

ආක්‍රමණිකයෝ ප්‍රතිවාදීන් දමනයට සැලසුම් හදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.