Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හිටපු විධායක සභිකයන්ට අල්ලස් චෝදනා

හිටපු විධායක සභිකයන්ට අල්ලස් චෝදනා

editorial - 2020 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා රුසියාවට සහ කටාර් රාජ්‍යයට ඡන්දය දීම වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු විධායක සභිකයන්ද අල්ලස් ලබාගෙන ඇතැයි එක්සත් ජනපද නීතිඥවරු පවසති.
 
පාපන්දු දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි.) කළ දීර්ඝ කාලීන විමර්ශනවල පෙරළියක් විය හැකි දෙයක් ලෙස, එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියකදී ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයකින් අනාවරණය විය. ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු විධායක කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකුටම ඔවුන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා අල්ලස් දී ඇතැයි එම චෝදනා පත්‍රයේ සඳහන් වේ. එහිදී දකුණු ඇමරිකානු පාපන්දු පාලක මණ්ඩලයේ හිටපු සභාපති නිකොලස් ලියෝස් මහතාට මෙන්ම බ්‍රසීල පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානී රිකාඩෝ ටෙක්සෙයිරා මහතාට එරෙහිව අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර තිබේ.
 
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සැපයීම සඳහා අල්ලස් ගනිමින් කටාර් රාජ්‍යයට පක්ෂව ඡන්දය දුන් බවට ඔවුන් දෙදෙනා චෝදනා ලැබ සිටියද, කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
 
ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු වන ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ රාජ්‍යයේ ජැක් වෝනර් මහතාටද රුසියාවේ 2018 ලංසුව සඳහා සහය දැක්වීම වෙනුවෙන් රටින් පිට පිහිටි ෂෙල් සමාගම් ගණනාවක් හරහා පවුම් මිලියන 4 ක් ගෙවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
 
අවසන් වරට 2018 වසරේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා පැවැති සටනේදී එංගලන්තය පරාජය කිරීමට රුසියාව සමත් විය. එවකට වෝනර් මහතා උතුරු හා මධ්‍යම ඇමරිකානු, මෙන්ම කැරිබියානු පාපන්දු සම්මේලනයේද සභාපතිවරයා විය.
 
ලෝක පාපන්දු සම්මේලනයේ තවත් හිටපු විධායක සභිකයෙක් වන ග්වාතමාලාවේ පාපන්දු ප්‍රධානී රෆායෙල් සල්ගුවෙරෝ මහතාටද රුසියාවට ඡන්දය දීම වෙනුවෙන් අල්ලසක් දෙන බවට පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.
 
එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට නියමිතව සිටි නිකලස් ලියෝස් පසුගිය වසරේදී ඔහුගේ උපන් ගම වන පැරගුවේහි නිවාස අඩස්සියේ සිටියදී මිය ගියේය. 2006 සහ 2012 අතර පාපන්දු තරඟවල අලෙවිකරණ සහ මාධ්‍ය අයිතිය සඳහා අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ලෝක පාපන්දු සම්මේලනය විසින් රිකාඩෝ ටෙක්සෙයිරාට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීය.
 
ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වූ ටෙක්සෙයිරා සහ වෝනර් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වළක්වා ඇති අතර දූෂණවලට සම්බන්ධ යැයි පිළිගත් සල්ගුවෙරෝටද පසුගිය වසරේදී තහනමක් පනවන ලදි.
 
එක්සත් ජනපදයේ ප්‍රධාන‍ පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ‘21 සෙන්චරි ෆොක්ස්’ නාලිකාවේ හිටපු විධායක නිලධාරීන්ටද විකාශන අයිතිය ලබා ගැනීම සඳහා දකුණු ඇමරිකානු පාපන්දු නිලධාරීන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රය හරහා නඩු පවරා තිබේ.
 
“ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේදී අයුතු ලෙස ලාභ ලැබීමත්, අල්ලස් දීම සහ ලබා ගැනීමත් අපි දශක ගණනාවක් තිස්සේ ගැඹුරින් හා පොදුවේ අධ්‍යනය කරපු දෙයක්.” යැයි ෆෙඩරල් විමර්ශන කාර්යාංශ‍යේ සහකාර අධ්‍යක්ෂක විලියම් ස්වේනි මහතා පැවසීය.
 
“පාපන්දු තරගාවලි, ඒවා පැවැත්වෙන ස්ථාන සහ ඒවාගෙ අලෙවිකරණ කොන්ත්‍රාත්තු වල යටිතල ව්‍යුහයේ සැඟවිලා තියෙන නීති විරෝධී මුදල් හුවමාරුව සහ ගනුදෙනු පිළිබඳව ෆෙඩරල් විමර්ශන කාර්යාංශ‍ය දිගින් දිගටම විමර්ශනය කරනවා.” යැයිද හෙතෙම සඳහන් කළේය.
 
“පාපන්දු ක්‍රීඩාව හරහා දූෂිත ලෙස මිලියන ගණනන් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම කෙනෙකුටම කියන්න තියෙන්නෙ ඉතා ඉක්මණින් අපි ඔබව සොයා ගන්නවා කියලයි.” යැයිද ස්වේනි මහතා වැඩිදු දුරටත් කියා සිටියේය.
 
වසර 2018 දී රුසියාවේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහ 2022 දී කටාරයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි වෙනුවෙන් ඡන්ද විමසීම පවත්වා වසර 10 ක් පමණ ගතවී තිබේ. එහෙත් මේ සියල්ල හෙළිදරව් වන්නට පටන් ගත්තේ 2015 දී ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ප්‍රකාශයකින් පසුවය.

ක්‍රීඩාවෙන් ධන කුවේරයන් වූ රූපවාහිනී සමාගම්වල විධායකයන් මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ කෙරුම්කාරයන් ගැන තමන් පරීක්ෂණ පවත්වන බව ක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව හදිසියේම ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලන ඉතිහාසයේ දැවැන්තම අර්බුදයේ ආරම්භය එයින් සටහන් වූ අතර හිටපු සභාපති ජෝෂප් බ්ලැටර් මහතාට තනතුරෙන් ඉවත් වීමට සිදුවිය.
 

-036

අදහස් (0)

හිටපු විධායක සභිකයන්ට අල්ලස් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.