Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුපර් ලීග් පාපන්දු තරගාවලිය දෙසැම්බරයේ

සුපර් ලීග් පාපන්දු තරගාවලිය දෙසැම්බරයේ

editorial - 2020 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)
 
අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සුපර් ලීග් (අර්ධ වෘත්තීය) පාපන්දු තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පවසයි.
 
කොරෝනා වසංගතය පැතිරීම පාලනය කරගැනීමේ අරමුණ ඇතිව පනවන ලද හුදෙකළා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද සියලුම තරගාවලි මේ වන විට අවලංගු කර තිබේ. එම තරගාවලි නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා එසේ පැවසීය.
 
කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් පසුගිය මස 20 වැනිදා රටම වසා දැමීමට පෙර සැලසුම් කර තිබූ පාපන්දු පුහුණුකරුවන් සහ විනිසුරුවන් සඳහා වූ පාඨමාලා සහ සම්මන්ත්‍රණ ද යොවුන් කාන්තා තරගාවලියද දින නියමයක් නැතිව කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවිය.

වත්මන් තත්ත්වය අනුව ජාතික පාපන්දු සංචිතයේ දෛනික පුහුණුවීම්වලට බාධා එල්ල වී තිබෙනවා. නමුත් පාපන්දු දෛනික පුහුණු කටයුතු නව ක්‍රමවේදයක් අනුව සැලසුම් කිරීමට විධි විධාන යොදා තිබෙනවා.
 
“පුහුණුකරුවන්ගේ පාඨමාලා අන්තර්ජාලය ඔස්සේත්, තරග විභාගෙද එම ක්‍රමයටමත් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ... දැනටමත් පාපන්දු විනිසුරුවන් සඳහා පාඨමාලා අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කර තිබෙනවා“ යයි පැවසූ ජස්වාර් උමාර් මහතා...
 
“සතියකට වරක් විනිසුරුවන් අන්තර්ජාලය ඔස්සේ අදාළ පාඨමාලාවන්ට සහභාගි වනවා. මීට අමතරව පාපන්දු සම්මේලනයේ අනිකුත් පරිපාලන කටයුතු අන්තර්ජාලය හා දුරකථන ආධාරයෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පාපන්දු සම්මේලනයට පැමිණීමෙකින් තොරව බාහිර පිරිස්වල සේවය සලසා තිබෙනවා“ යැයි පැවසීය.
 
කොවිඩ් - 19 රෝගය ව්‍යාප්තිය පාලන කිරීම සඳහා සියලු ආරක්ෂක උපදෙස් පිළිපදිමින් සහ සියලු දෙනාගේ සෞඛ්‍යයට මුල්තැන දෙමින් රජය මගින් පනවා ඇති නීතිරීතිවලට අනුව ඉදිරියේදී පාපන්දු තරගාවලි සංවිධානය කිරීමට කටයුතු යොදන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 
කොරෝනා ව්‍යසනයෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින පාපන්දු සංගම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, විනිසුරුවන් සහ පුහුණුකරුවන් සඳහා සහන පැකේජයක් සැලසීමේ යෝජනාවක් පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග දැනටමත් සාකච්ඡා පවත්වා තිබෙන බවත් ජස්වාර් උමාර් මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

සුපර් ලීග් පාපන්දු තරගාවලිය දෙසැම්බරයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.