Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවේ තරග සංඛ්‍යාව 2 ට අඩුවෙයි

ශ්‍රී ලංකාවේ තරග සංඛ්‍යාව 2 ට අඩුවෙයි

editorial - 2021 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

වසර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉවත් වීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. එබැවින් ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ වටයේදී ශ්‍රී ලංකාවේ සහභාගිත්වය තරග දෙකකට පමණක් සීමාවී තිබේ.

කෙසේවුවත් සිය ඉවත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ආසියානු පාපන්දු සමුළුව උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

උතුරු කොරියාවේ ඉවත්වීම අනුව තරග කාලසටහනද සංශෝධන කෙරෙන අතර ඒ සඳහා ආසියානු පාපන්දු සමුළුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාව ලෝක කුසලාන  (2022) ආසියානු කලාප  දෙවැනි වටයේ ඉතිරි තරග දෙකෙන් පළමු තරගයට ලබන ජුනි 5 වැනිදා ලෙබනනයට එරෙහිව සෝල් නුවරදී තරග වදිනු ඇත.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වයෙන් ඉවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති උතුරු කොරියාව ලෝක කුසලාන (2022) පාපන්දු සුදුසුකම් ලැබීමේ ආසියානු තරග වටයෙන්ද ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ. මෙම ඉවත්වීම්වලට හේතුව ලෙස උතුරු කොරියාව අවධාරණය කරන්නේ ‘කොවිඩ් - 19’ වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයන්ට එළඹි බවයි.

උතුරු කොරියාව ඉවත්වීමට පෙර ශ්‍රී ලංකාව මෙම සුදුසුකම් ලබන වටයේ තරග තුනකට සහභාගිවීමට නියමිතව සිටියේය. එහිදී ජුනි 3 වැනිදා උතුරු කොරියාවට  එරෙහිව ද ජුනි 7 වැනිදා ලෙබනනයට එරෙහිව ද හා ජුනි 11 වැනිදා සත්කාරක දකුණු කොරියාවට එරෙහිව ද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබුණි.

වසර 2020 මාර්තු මාසයේ සිට ලොව පුරා උද්ගතවූ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලෝක කුසලාන (2022) සුදුසුකම් ලැබීමේ කලාපීය තරග වට  ගණනාවක්ම  දිගින් දිගටම කල් දැමීමට සිදුවිය. ඒ අනුව මෙම තරග වටයේ ඉතිරි තරග ද අත්හිටුවීමට  අන්තර්ජාතික  පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.

‘සෝල්’ නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගි වන ඉතිරි තරග දෙකම පැවැත්වේ. ඒ සඳහා සූදානම්වීමට ජාතික පාපන්දු සංචිතය නිරෝධානය නීති යටතේ නොබෝදා කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී නේවාසික පුහුණුවීම් ආරම්භ කළේය.

බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා වසර 2020 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ සේවය බාර ගත්තත් ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරගයක් සඳහා මෙහෙයීමේ අවස්ථාව පළමුවරට උදාකර ගත්තේ ලබන ජුනි 5 වැනිදා පැවැත්වෙන ලෙබනනයට  එරෙහි තරගයේදීය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ ඉතිරි තරග දෙකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 28 වැනිදා දිවයිනෙන් පිටත්ව  යාමට නියමිතය.

ශ්‍රී ලංකාව, ආසියානු කලාප සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ මෙතෙක් සහභාගි වූ සියලුම තරගවලින් පරාජයට පත්ව සිටී. එබැවින් ඉතිරි තරග දෙකට සහභාගි වූවත් දෙවැනි වටයෙන් ඉවතට විසිවී තිබේ.

නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ පසුවේ. දකුණු කොරියාව 39 වැනි ස්ථානයේ ද ලෙබනනය 93 වැනි ස්ථානයේද එහිදී පසුවේ.

දකුණු කොරියාව යනු අවස්ථා කිහිපයකදීම පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ රටකි.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ තරග සංඛ්‍යාව 2 ට අඩුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.