Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football විගණන වාර්තා නැත්නම් බලාගෙනයි - ක්‍රීඩා ඇමති

විගණන වාර්තා නැත්නම් බලාගෙනයි - ක්‍රීඩා ඇමති

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විගණන වාර්තා නිසි පරිදි මහ සභා රැස්වීමට ඉදිරිපත් නොකර නිලවරණ කැඳවීමට උත්සහ දරන ජාතික ක්‍රීඩා සංගම්වලට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අත්වූ ඉරණමට මුහුණදීමට සිදුවන බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. විගණන වාර්තා ඉදිරිපත් නොකර කැඳවූ බව කියන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ නිලවරණයෙන් පත්වූ එම නිලධාරි මණ්ඩලය අවලංගු කරමින් එම නිලවරණය මෙම 30 වැනිදා නැවත පවත්වන ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඉකුත්දා නියෝග කළේය.

ඇමතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා පනතේ නව රෙගුලාසිවලට අනුකූලව නිලවරණය පවත්වන ආකාරය පිළිබඳව මේ දිනවල ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් කණ්ඩායම් රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා උපදෙස් දීමටද එහිදී පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා ඇමතිවරයා මෙසේ පැවසීය.

“එළඹෙන නිලවරණය විගණනය කළ ගිණුම් වාර්තා ඉදිරිපත් නොකර තියන්න මා කිසිම ජාතික ක්‍රීඩා සංගමයකට ඉඩ දෙන්නේ නෑ”

“ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදෙන්න. නිලවරණය පවත්වන කාල සීමාව මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කර දෙන්නත් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා. පාපන්දු සම්මේලනයේ විශේෂ ඉල්ලීමක් සළකා බලා ඔවුන්ට පමණක් ඒ සඳහා ලබන ජුලි 1 වැනිදා දක්වා කාලය ලබාදුන්නා”

“මම ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට කියන්න ඒ උපදෙස් පිළිපදින්නෙ නැතුව නිලවරණය පැවැත්වුවහොත් ඔවුන්ට අත්වෙන්නෙත් බැඞ්මින්ටන් සම්මේලනයට අත්වෙච්ච ඉරණමමයි. ඔවුන් විගණන වාර්තා ඉදිරිපත් නොකර නිලවරණය කැඳවා නව නිලධාරීන් තෝරාගත්තා. නමුත් මම ක්‍රීඩා ඇමතිවරයා හැටියට ක්‍රීඩා පනත උල්ලංඝනය වන ආකාරයෙන් තිබ්බ ඒ නිලවරණය අවලංගු කර එම පත්වීම් සියල්ලත් අවලංගු කළා”

“එහෙම දේවල් තවදුරටත් වෙනවානම් අපි මෙච්චර මහන්සි වෙලා හදපු අලුත් ක්‍රීඩා රෙගුලාසි නීති ගත කරපු එකේ ප්‍රයෝජනය මොකක්ද?” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.

මේ අතර 2016 ඔක්තෝබර් 27 වැනිදා ක්‍රීඩා ඇමතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව විගණන වාර්තා මහ සභාවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට ඊළඟට යෙදෙන නිලවරණයට ඉදිරිපත්වීමට එය නුසුදුසුකමක් වනු ඇත.

“නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළදී විගණන මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අසමත් වූ හෝ එසේ කිරීම පැහැරහැර ඇති ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික වශයෙන් ධුරයන් දරා සිටි තැනැත්තකු වේ නම් එවන් පුද්ගලයෙකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත් කර ගනු ලැබීමට හෝ එසේ නැතිනම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධුරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයෙකුවීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක සංවිධායක නායකයකු වීමට හෝ නුසුදුස්සෙකු විය යුතුය.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය මාර්තු 24 වැනිදා ජාතික ක්‍රීඩා සංගම්හි එළඹෙන නිලවරණ අරභයා තවත් ක්‍රීඩා රෙගුලාසියක් හඳුන්වා දී තිබේ. එම රෙගුලාසිය මෙසේ දන්වා තිබේ.

“2017 වර්ෂය සඳහා සියලු ජාතික ක්‍රීඩා සංගම් සිය විධායක කමිටුවේ අනුමැතියෙන් තීරණ ගැනීමේ කමිටුව, වර්ගීකරණ කමිටුව, ශ්‍රේණිගත කිරීමේ කමිටුව, තාක්ෂණික කමිටුව හා විනය කමිටුව යන කමිටු සඳහා සාමාජිකයන් තෝරා ගැනීම කළ යුතුය”

ජාතික ක්‍රීඩා සංගමයක තීරණ ගැනීමේ බලය එහි විධායක කමිටුවට පැවරෙන බැවින් එම රෙගුලාසියේ අර්ථගන්වා තිබෙන තීරණ ගැනීමේ කමිටුව පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සංගම් කීපයක ප්‍රධානීහු ලංකාදීපට පැවසූහ. ඒ පිළිබඳව ‘ලංකාදීප’ ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ එහි සඳහන් තීරණ ගැනීමේ කමිටුව තේරීම් කමිටුව යනුවෙන් හැඳින්වීම වඩාත් නිවැරදි බවයි.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම (2016) මෙම 22 වැනිදා පැවැත්වෙන අතර එදිනට 2016 වසරේ විගණන වාර්තාව අනුමත කර ගැනීම කළ යුතුව ඇත.

ඒ පිළිබඳව එහි ලේකම් බාලේන්ද්‍ර ඇන්තනි මහතා පැවසුවේ පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන ජුලි 1 වැනිදා පැවැත්වීම පිළිබඳව එහිදී නිශ්චිතව තීන්දුවක් ගන්නා බවයි.

 


අදහස් (0)

විගණන වාර්තා නැත්නම් බලාගෙනයි - ක්‍රීඩා ඇමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.