Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football යුරෝපයේ පාපන්දු ක්‍රීඩාංගණවල අගුළු අරී

යුරෝපයේ පාපන්දු ක්‍රීඩාංගණවල අගුළු අරී

editorial - 2020 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

  
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් හදිසියේම එකතැන නතර වූ යුරෝපීය පාපන්දු ක්‍රීඩාව යළි යළිත් හිස එසවීමට උත්සාහ කරමින් සිටී. ඒවායින් ඇතැම් පාපන්දු තරගාවලි අනෙක් ඒවාට වඩා ඉදිරියෙන් සිටියද එංගලන්තයේ ප්‍රධානතම තරගාවලිය වන ප්‍රිමියර් ලීග් තරගාවලිය හැකි ඉක්මනින් ආරම්භ කිරීම එංගලන්ත රජයේත් අපේක්‍ෂාව වී තිබේ.

එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ප්‍රිමියර් ලීග්’ තරගාවලිය නැවත ආරම්භ කිරීම සඳහා මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. බොහෝ විට ජූනි මාසයේදී තරගාවලිය ආරම්භ කිරීමට ඉඩ ඇතැයි කියැවෙතත් ඒ සඳහා එංලන්ත රජයේ අවසරය අත්‍යවශ්‍ය වී තිබේ.
ක්‍රීඩා සමාජ වලට දැනුම් දී ඇත්තේ, ක්‍රීඩා සමාජ ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් නොවන පරිදි, සියලුම තරග වෙනත් ක්‍රීඩාංගණ වලදී එනම් තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකට අයත් නොවන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන බවයි. තරගාවලිය ආරම්භ කිරීම සඳහා මේ සතියේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිතය.
 

ජර්මනිය
‘බුන්ඩෙස්ලීගා’ යනුවෙන් හැඳින්වෙන ජර්මනියේ ප්‍රධානතම පාපන්දු ලීගය මේ මස 16 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ. කොරෝනා වසංගතයෙන් පසුව යුරෝපයේ වෘත්තීය පාපන්දු තරගමාලා අතුරින් පළමුවෙන්ම ආරම්භ වන්නේ බුන්ඩෙස්ලීගා පාපන්දු තරගාවලියයි. කෙසේ වෙතත් මෙම පාපන්දු තරගාවලිය ආරම්භ කෙරෙන්නේ ඉතා දැඩි නීති රීති සහ සෞඛ්‍ය නිර්දේශ මධ්‍යයේය. පාපන්දු තරග නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන්ට අවසර නැත.

ස්පාඤ්ඤය
‘ලා ලීගා’ යනුවෙන් හැඳින්වෙන ස්පාඤ්ඤයේ පාපන්දු තරගාවලිය ආරම්භ කෙරෙන්නේ ක්‍රීඩා සහ සෞඛ්‍ය අධිකාරියේ නිර්දේශය මතය. එහි පළමු පෙළ සහ දෙවැනි පෙළ ක්‍රීඩා සමාජ සඳහා පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර දී තිබේ. තරගාවලිය ජූනි මාසයේදී ආරම්භ කිරීමේ සූදානමක් පවතී.

ඉතාලිය
කොරෝනා වයිරසයෙන් තදින්ම බැට කෑ රටවල් අතර ඉතාලිය ඉදිරියෙන්ම සිටී. එනිසාම ‘සෙරියේ - ඒ’ යනුවෙන් හැඳින්වෙන ඉතාලියේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය ආරම්භ වන දිනයක් තවමත් පෙනෙන්නට නැත. ඉතාලියේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඉතාලියේ පාපන්දු සම්මේලන නිලධාරීන් සහ ක්‍රීඩා සමාජ නිලධාරියෝද එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් සිටිති.
පසුගිය 4 වැනිදා සිටම පාපන්දු කණ්ඩායම් තම තමන්ට හැකි ආකාරයෙන් පුහුණුවීම් ආරම්භ කළද ඉතාලි පාපන්දු සම්මේලනයේ වෛද්‍ය කමිටුවේ නිර්දේශය වන්නේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා පවතින වාතාවරණය “තවමත් ප්‍රමාණවත් නැත” යන්නයි. එය ඉතාලියේ ක්‍රීඩා ඇමතිවරයාගේ මතයද වෙයි.

ප්‍රංශය
කොරෝනා වයිරසයේ බලපෑමත් සමගින් ප්‍රංශ රජය විසින් තරගාවලිය අත්හිටුවන ලදි. පැරිසියේ ශාන්ත ජර්මේන් කණ්ඩායමට ශූරතාව හිමිවිය. එහෙත් ‘ඔලිම්පික් ලයන්ස්’ කණ්ඩායම කියන්නේ යුරෝපා පාපන්දු ලීගයට පිවිසීමට තමන්ට තිබූ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යන බවයි. එවකට පැවැති ප්‍රසාද ලකුණු මත පහළ තලයට වැටුණු ‘ඒමියන්ස්’ සහ ‘ටූලූස්’ කණ්ඩායම්ද තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයට යන බව කියති.

පෘතුගාලය
‘ප්‍රිමියර් ලීග්’ යනුවෙන් හැඳින්වෙන පෘතුගාලයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය මැයි 30 වැනිදා නැවතත් ආරම්භ කිරීමට සැලැස්මක් තිබේ. ඊයේ (11 වැනිදා) සිට කණ්ඩායම් පුහුණුවීම් ආරම්භ කර ඇත.
 
නෙදර්ලන්තය
ඕලන්ද පාපන්දු සංගමය පසුගිය 24 වැනිදා සිය තරගාවලිය අත්හිටුවීය. ඊට හේතුව වූයේ සැප්තැම්බර් මාසය දක්වා සියලුම ආකාරයේ ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කිරීමට නෙදර්ලන්ත රජය තීරණය කිරීමයි. තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ප්‍රසාද ලකුණ සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් ලබන වසරේදී යුරෝපා ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

නෝර්වේ
නෝර්වේ පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් තවමත් තීරණක් ගෙන නැති අතර පෝලන්තයේ තරගාවලිය මැයි 29 වැනිදා ආරම්භ කෙරෙනු ඇත.
.
ඔස්ටි්‍රයාව
වෘත්තීය පාපන්දු තරගාවලි පැවැත්වෙන යුරෝපයේ රටවල් අතුරින් පළමුවෙන්ම පුහුණුවීමට අවසර දුන් රටකි ඔස්ටි්‍රයාව. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගය තරමක් දැඩි එකකි. එම නියෝගය වන්නේ අඩුතරමේ එක ක්‍රීඩකයකු හෝ කෝවිඞ් - 19 වයිරසය ශරීරගත වී ඇති බව සනාථ වුවහොත් සමස්ත කණ්ඩායමම නිරෝධානයනට ලක්විය යුතු බවයි. එම නියෝගයට අනුව ඔස්ටි්‍රයාවේ පාපන්දු තරගාවලිය ආරම්භ වීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකි.

ඇල්බේනියාව
රජයේ උපදෙස් මත, මැයි 20 වැනිදා සිට, පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට ඇල්බේනියානු පාපන්දු සම්මේලනය සූදානම් වෙමින් සිටී. එහෙත් නරඹන්නන් පිටියට කැඳවීමේ සූදානමක් ඇල්බේනියානු පාපන්දු සම්මේලනයට නැත

අසර්බයිජානය
අසර්බයිජාන ප්‍රධානතම පාපන්දු ලීගය සැලසුම් කරමින් සිටියේ රට අගුළු දැමීමේ සීමාවන් ඉවත් කළ සැණෙකින් පාපන්දු තරග ආරම්භ කිරීමටය. එහෙත් රටේ අගුළු ඉවත් කිරීම මැයි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අසර්බයිජාන රජය තීරණය කිරීමත් සමගින් ජූනි මාසයෙන් මෙපිට පාපන්දු තරගයක් ගැන බලාපොරොත්තුවක් තැබීමට අසර්බයිජාන පාපන්දු ලෝලීන්ට නොහැකි වනු ඇත.
 
උතුරු අයර්ලන්තය
උතුරු අයර්ලන්තයේ පාපන්දු තරගාවලිය මැයි මස 31 වැනිදා දක්වා අත්හිටුවනු ලැබ තිබේ. එහෙත් එය නැවත ආරම්භ කෙරෙන දිනයක් ගැන හා හූවක් නැත.
 
රුසියාව
රුසියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය ජූනි මස 21 හෝ 28 දිනවලදී නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් මේ වන විට සකස් කර තිබේ. තරගාවලියේ වට 8 ක් තවමත් ඉතිරි වී තිබේ.
 
ස්වීඩනය
ස්වීඩනයේ පාපන්දු කණ්ඩායම් රැසක් මේ වන විටත් පුහුණුවීම් කරමින් සිටිති. තරගාවලිය ජූනි 14 වැනිදා ආරම්භ කිරීමට සැලැස්මක් තිබේ.
 
ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්තයේ පාපන්දු කණ්ඩායම් ඊයේ (11 වැනිදා) පුහුණුවීම් ආරම්භ කළ අතර ජූනි 8 වැනිදා තරගාවලිය ආරම්භ කිරීමේ සූදානමකින් පසුවෙයි.
තවත් රටවල් කිහිපයක්ම තම තමන්ගේ වෘත්තීය පාපන්දු තරගාවලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටිති.
බයිලොරුසියාවේ පාපන්දු තරගාවලියට කොරෝනාවෙන් සිදුවූ බලපෑමක් නැත. එහෙත් කොරෝනා වයිරසයේ බලපෑම එල්ලවීමත් සමගින් බෙල්ජියමේ පාපන්දු තරගාවලිය අවලංගු කරන ලදි. කෙසේ වෙතත් මෙම තීරණය තවමත් ස්ථිර කරනු ලැබ නැති හෙයින් කොයි මොහොතේ හෝ තරගාවලිය නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවත් මැයි 6 වැනිදා නිමා විය. ඒ සියලුම ආකාරයේ ක්‍රීඩා සඳහා බෙල්ජියම් රජය ජූලි 31 වැනිදා දක්වා තහනමක් පනවන ලද හෙයිනි.
 
බොස්නියාවේ පාපන්දු සංගමය තමන්ගේ තරගාවලිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටින අතර කණ්ඩායම් 12 ක් සහභාගි වන තරගාවලිය මාර්තු මුල් සතියේදී අත්හිටුවන ලදි. බල්ගේරියාවේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය ජූනි 5 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. ප්‍රේක්‍ෂකයන් නැතිව පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි 11 වැනිදා නිමාවට පත්කිරීමට නියමිතය.
 
ඩෙන්මාර්කයේ පාපන්දු බලධාරීහු රටේ ක්‍රීඩා බලධාරීන්ගෙන් නිසි දැනුම්දීමක් කෙරෙන තුරු කල් බලමින් සිටිති. පින්ලන්තයේ පාපන්දු කණ්ඩායම් වලට පුහුණුවීමට අවසර දී තිබේ. ජිබ්රෝල්ටාවේ පාපන්දු තරගාවලිය අත්හිටුවනු ලැබ තිබේ. එහෙත් ඒ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් යුාරෝපා පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.
ග්‍රීසියේ සුපිරි ලීග් පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක ක්‍රීඩකයෝ පසුගිය 5 වැනිදා පුහුණුවීම් ආරම්භ කළහ. එහෙත් සමාජ දුරස්ථකරණය සම්බන්ධ නීති රීති තදින්ම පිළිපැදිය යුතුව තිබේ. රජයේ අවසරය ලැබුණ හොත් ජූනි 14 වැනිදා තරගාවලිය ආරම්භ කළ හැකි යයි ජිබ්රෝල්ටාව් කණ්ඩායම් විශ්වාසයෙන් යුතුව සිටිති.

රුමේනියාවේ අගුළු දැමීම් මේ මස 15 වැනිදා අවසන් කිරීමත් සමගම පාපන්දු තරගාවලිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වෙයි. ස්ටීව් බුකාරෙස්ට් පාපන්දු සමාජය පුහුණුවීම් ආරම්භ කළද එය රජයේ නියමයන්ට පටහැණිව කෙරෙන හෙයින් මෙම ක්‍රීඩා සමාජයට දඩ ගැසිය යුතු යයි රුමේනියාවේ ක්‍රීඩා ඇමතිවරයා කියයි.


අදහස් (0)

යුරෝපයේ පාපන්දු ක්‍රීඩාංගණවල අගුළු අරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.