Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මැලේසියාවෙන් ගෝල වැස්සක්

මැලේසියාවෙන් ගෝල වැස්සක්

නාමල් පතිරගේ - 2019 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්වාලාලම්පූර් නුවර දී සෙනසුරාදා (5) පැවැති සුහද පාපන්දු තරගයේ දී මලයාසියාව විසින් ශ්‍රී ලංකාව ගෝල 6-0 කින් පරාජය කරන ලදී. තරගයේ පළමු භාගයේදීම ගෝල 3ක් වාර්තා කරමින් පහසු ජයග්‍රාහී ඉලක්කයකට ප්‍රවේශ වූ මලයාසියානු කණ්ඩායමේ සාසිෆිත් අහමඞ් මෙම තරගය පුරා දක්ෂතා දක්වමින් ගෝල තුනක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ‘ක්වාලාලම්පූර්’ නුවරට ළඟා වූයේ දකුණු කොරියාව බලා යමින් සිටින අතරදීය. ඒ ලබන බ්‍රහස්පතින්දා (10) කොරියාවේ හැවැසේඞ්න් නුවරදී දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර ලෝක කුසලාන (2022 කටාර්) පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේ තරගයකට සහභාගීවීම සඳහාය.

ක්වාලාලාම්පූර්හි බුකිට් ජලීල් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා 7000 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ.

තරගය පුරා දස්කම් දැක්වූ මලයාසියානු ක්‍රීඩකයෝ 9, 14, 17, 51, 76 හා 89 වැනි විනාඩිවලදී ගෝල වාර්තා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආදේශන ගණන තරගය පුරා හතරක් වෙද්දී එය මැලේසියානු කණ්ඩායමෙන් හයක් බවට පත්ව තිබුණි. ඒ අතර විශේෂත්වය වූයේ මෙම සුහද ජාත්‍යන්තර තරගයේදී දෙපිලේ කිසිදු ක්‍රීඩකයකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලැබෙන කහ කාඞ්පත හෝ පිටියෙන් පිටමන් කෙරෙන රතු කාඞ්පත නොලැබීමය.

ශ්‍රී ලංකාව මෙන්ම මලයාසියාවද ලෝක කුසලාන ආසියානු කලාප දෙවනි වටයට ප්‍රවේශ වී සිටින අතර මලයාසියාව ලබන බ්‍රහස්පතින්දා (10) වියට්නාමයට එරෙහිව තරග වැදීමට නියමිතය. ඉන්දුනීසියාවට එරෙහිව ගෝල 3-2 ක ජයක් ලබමින් එම වටයේ මෙතෙක් එක් තරගයක් ජයගැනීමට මලයාසියාව සමත්ව සිටියි. එසේ වුවත් ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ එම තරග වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්ව සිටියි. ඒ තුර්ක්මෙනිස්ථානයට (2-0) හා උතුරු කොරියාවට (1-0) එරෙහිවය.

ශ්‍රී ලංකාව මැකාවෝ රාජ්‍යයට එරෙහිව නිතරග ජයක් ලබමින් ලෝක කුසලාන (2022- කටාර්) ආසියානු කලාප දෙවනි වටය සඳහා සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව අවසන් වරට වසර 2019 අගෝස්තු 29 වනිදා පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී බංග්ලදේශය (1-0) පරාජය කිරීමෙන් පසුව මෙතෙක් තරග ජයක් ලබා ගැනීමට අපොහොසත්ව සිටියි. එදා සිට මෙතෙක් ඔවුන් සහභාගි වූ ජාත්‍යන්තර තරග ගණන නවයකි.

ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතාත් කළමනාකරු ලෙස සුනිල් සෙනවීර මහතාත් මෙම තරග සංචාරයට එක්ව සිටිති.

 


අදහස් (0)

මැලේසියාවෙන් ගෝල වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.