Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

editorial - 2021 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාපීය සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයේ ඉතිරි තරග සඳහා සහභාගි වීමේ අපේක්ෂාවෙන් ජාතික පාපන්දු සංචිතයේ නේවාසික පුහුණුවීම් හෙට (7) සිට කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේදී ආරම්භ වෙයි. මේ සඳහා තෝරාගන්නා ලද 25 දෙනෙකුගෙන් සමන්විත ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයෝ අද දිනයේ (06 වැනිදා) එම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ සිටියහ. 

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තවත් ඉතිරිව තිබෙන තරග තුනක් (3) සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම තෝරා ගැනීම සඳහා මෙම පුහුණුවීම් පැවැත්වේ. 

මෙම තරග ලබන මාසයේදී (ජුනි 3 - 7 හා 11 යන දිනවල) දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැත්වීමට දැන් තීරණය වී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ මෙම ඉතිරි තරග පැවැත්වෙන ස්ථාන හා දිනයන් සංශෝධනය කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ගත් තීරණයක් අනුවය. 

ජුනි 3 වැනිදා සත්කාරක දකුණු කොරියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 7 වැනිදා උතුරු කොරියාවට එරෙහිව තරග වදී. ජුනි 11 වැනිදා ලෙබනනයට එරෙහිව තරගය පැවැත්වේ. 

කොරෝනා වයිසරයේ බලපෑම හේතුවෙන් වසර 2020 මාර්තු මාසයේ සිට අවස්ථා කීපයකදීම මෙම තරග කල්දමන ලදි. මින් පෙර සූදානම් කර තිබූ තරග කාලසටහනට අනුව දකුණු කොරියානුවන් කොළඹ දීද උතුරු කොරියානුවන් එරට අගනුවර වන පියැන්ජියෝන්ග් හිදී ද ලෙබනන් කණ්ඩායම බීරුට් නුවර දීද ශ්‍රී ලංකාව හා තරග වැදීමට සූදානමින් සිටියේය. 

සංශෝධිත තරග කාලසටහන අනුව තරග වැදීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මැයි 28 වැනිදා සෝල් නුවර බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරග වටයේ දී ශ්‍රී ලංකාව මෙම ප්‍රතිවාදීන් මුණගැසෙන්නේ දෙවැනි වතාවටත්ය.

කලින් පැවැති තරග දෙකකදීම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර දකුණු කොරියාවට එරෙහිව සෝල් නුවර දී ලද පරාජය ගෝල 10-0 ක් තරම් දරුණු විය. දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ සෙසු සියලු තරගවලින් ද පරාජයට පත්ව තිබෙන බැවින් ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යාමට අටවස්ථාවක් හිමිව නැත.

ඒ අතරම මෙම ප්‍රතිවාදීන් තිදෙනා ගැන සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් පිළිබඳව තබා ගත හැක්කේ ඉතා අල්ප විශ්වාසයකි. එබැවින් ශ්‍රී ලංකාව මෙම තරගවල දී වඩාත් උනන්දු වී සිටින්නේ ආරක්ෂාකාරී තරග රටාවකට යමින් පරාජය අවම කර ගැනීමටය.

අප්‍රේල් මස 7 වැනිදා කරන ලද ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මෙම ආසියානු කලාපයේ ප්‍රතිවාදීන් තිදෙනාම ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් පසු වේ. ඔවුන් ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානවල පසුවන්නෝ වෙති.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු කොරියාව 39 වැනි ස්ථානයේ ද උතුරු කොරියාව 109 වැනි ස්ථානයේ ද හා ලේබනනය 93 වැනි ස්ථානයේ ද පසු වේ. දකුණු කොරියානුවෝ ආසියානු ශ්‍රේණිතකිරීම් අනුව තෙවැනි ස්ථානයේ පසු වේ.

ශ්‍රී ලංකාව වසරකටත් අධික කාලයක් තිස්සේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 206 වැනි ස්ථානයේ පසුවිය. එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ සිදු කළ අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන්නේ 204 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකා කණ්ඩායම පියවර දෙකකින් ඉදිරියට පැමිණීමට හේතුව ඔවුන්ගේ ප්‍රගතියක් නොව ප්‍රතිවාදීන් පසුපසට යාමකි.

වසර 2019  දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ අවසන් ජාත්‍යන්තර තරගාවලියයි.  ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි කළේ වයස 23න් පහළ ජාතික කණ්ඩායමයි. 

2020 පෙබරවාරි මාසයේ වැඩ බාරගත් ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරු, බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතාට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව පළමු වරට හිමි වන්නේ ලබන ජුනි 3 වැනිදා දකුණු කොරියානුවන්ට එරෙහිව පැවැත්වෙන තරගයේ දී සිටයි.

ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය  ලාල් ඒකනායක මහතා ලංකාදීපයට කළ විමසුමක දී පැවසුවේ ජෛව බුබුලක් ලෙස කටයුතු කරමින් පුහුණු කටයුතු සඳහා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් සඳහා අනුමැතිය දීමට කටයුතු කළ බවයි.

ජාතික පාපන්දු සංචිතයට අතිරේක ක්‍රීඩකයන් හත් දෙනෙකු ද නම්කර තිබේ. නමුත් ඔවුන් සංචිතයේ පුහුණුවීම් සඳහා දෛනිකව වාර්තාකරන්නෝ නොවෙති.

ලෝක කුසලාන කොරියානු තරග සංචාරය සඳහා බොස්නියානු පුහුණුකරුවන් දෙදෙනා හැරෙන්නට දේශීය පුහුණුකරුවන් කීප දෙනෙකු ද සහය පුහුණුකරුවන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙති.

ශ්‍රී ලංකාව මීළඟ ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයට පිවිසියේ මැකාවෝ රාජ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාව සමග කොළඹදී පැවැති තරගයට සහභාගි නොවීම හේතුවෙන් ලද නිතරග ජයක් හේතුවෙනි. 

 


අදහස් (0)

පාපන්දු සංචිතයේ පුහුණුවීම් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.