Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු පිල අගාධයේ අඩියටම වැටෙයි

පාපන්දු පිල අගාධයේ අඩියටම වැටෙයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවතම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 203 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. මෙය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ මෙතෙක් අත්කරගත් දුර්වලතම ස්ථානයයි. ආසියානු පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියාවේ අවසන්  ස්ථානයට වන 46 වැනි ස්ථානයට පත්ව සිටියි.

වසර 2022 කටාර්හිදී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාපය වෙනුවෙන් දෙවැනි වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවත් එහිදී මෙතෙක් මුහුණ දුන් තරග සියල්ලෙන්ම අත්කර ගත් පරාජය හමුවේ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් අතරේ පසුබෑමට ලක්ව තිබේ.

ඔක්තෝබර් 15 වැනිදා ශ්‍රී ලංකාව කොළඹදී ලෙබනනයට පරාජ වූයේ ගෝල 3-0 කිනි. ඊට පෙර තුර්ක්මෙනිස්ථානය හමුවේ (2-0), උතුරු කොරියාව හමුවේ (1-0) හා දකුණු කොරියාව හමුවේ (8-0) එම තරග වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඔක්තෝබර් 5 වැනිදා දක්වා ක්වාලාලාම්පුර් නුවරදී පැවැති සුහද ජාත්‍යන්තර තරගයකදී මලයාසියාවට ශ්‍රී ලංකාව පරාජය වූයේ ගෝල 6-0 කටය.

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ලයිස්තුවේ 203 වැනි ස්ථානයට ඇද වැටෙද්දී මේ දක්වා ශ්‍රී ලංකාවට පසුපසින් සිටි පාකිස්තානය එතෙක් ශ්‍රී ලංකාව රැඳී සිටි 202 වැනි ස්ථානයට පත්ව තිබේ. 1990 දශකය ආරම්භයේදී ශ්‍රී ලංකාවෙන් පාපාන්දු ගුරුහරුකම් ලබාගත් මාලදිවයින 154 වැනි ස්ථානයේ සිටී.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ රටවලින් ඉදිරියෙන්ම පසුවන රාජ්‍යය වන්නේ ඉන්දියාවයි. ඔවුන් 107 වැනි ස්ථානයයේ අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව පසුවන අතර ආසියාවේ ඔවුන් පසුවන්නේ 19 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාව එළඹෙන දෙසැම්බර් 11 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භවන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය සඳහා සූදානම් වෙයි.  ඒ අතර ආසන්නතම ජාත්‍යන්තර තරගයට ඔවුන් මුහුණ දෙන්නේ ලබන නොවැම්බර් 19 වැනිදාය. ඒ 2022 ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ තරගයක් වන තුර්ක්මෙනිස්ථානයට එරෙහිව ‘ඇස්ගාබට්’ නුවරදී පැවැත්වෙන තරගයයි.

ශ්‍රී ලංකාවට පසුපසින් සිටින ලෝක පාපන්දු සමුළුවේ සාමාජික රටවල් වන්නේ ටොන්ගෝ (204), තුර්කි දූපත් (204), එරිත්‍රියාව (206), ඇමරිකානු වර්ජනියා දූපත් (206) හා බි්‍රතාන්‍ය වර්ජනියා දූපත් (208), ශාන්ත මරිනා දූපත් (209) සහ ඇන්ගෝලාව (209)යි.

දකුණු ආසියාවේ ඉතාමත් කුඩා රාජ්‍යයක් වන භූතානය ශ්‍රේණිගත කිරීම් අතරේ 194 ස්ථානයේ සිට මේ වනවිට 189 දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ ආසියාවේ 41 වැනි ස්ථානය තහවුරු කර ගනිමිනි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ අංක එකට ඉරානය ද (ලෝක ශ්‍රේණිගත කිරීම්හි 27) ලෝකයේ අංක එකට බෙල්ජියම පත්ව සිටින්නේ පසුගිය 2018 ඔක්තෝබර් 25 වැනිදා නිකුත් කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව එතෙක් අංක එකේ පසුවූ 2018 ලෝක කුසලාන දිනා ගත් ප්‍රංශය අභිබවමිනි.

 ශ්‍රී ලංකාව එදා මෙදා තුර ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ලබාගත් හොඳම ජයග්‍රහණය 1995 දී ඉන්දියාව පරාජය කරමින් දකුණු ආසියානු පාපන්දු කුසලාන දිනා ගැනීමයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ පාපන්දු  සංවර්ධන හා යටිතල පහසුකම් සංවර්ධන සඳහා ලෝක පාපන්දු සමුළුව (ෆිෆා) හා ආසියානු පාපන්දු සමුළුව (ඒ.එෆ්.සී.) වසරකට රුපියල් කෝටි දහයකට වැඩි මූල්‍යාධාර සපයයි.

වත්මන් ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතා එම ධුරය දරන්නේ පසුගිය (2018) පෙබරවාරි 20 වැනිදා සිටය.  

 


අදහස් (0)

පාපන්දු පිල අගාධයේ අඩියටම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.