Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නරඹන්නන් නැතිව අපි සර්කස් පෙන්වනවා

නරඹන්නන් නැතිව අපි සර්කස් පෙන්වනවා

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් වසර ගණනාවක් දිගටම ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම තමාගේ සිහිනයක් බවත් ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය සහ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම්වල ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසයි.

“මම ප්‍රේක්ෂකයන් නොමැති ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට කැමති නැහැ. එය නරඹන්නන් නැති අවස්ථාවක සර්කස් පෙන්වීමට සමානයි” යැයි රොනාල්ඩෝ පැවසීය.

“වසංගතය නිසා මිනිස්සු පිස්සු වැටිලා ඉන්නෙ. ඉක්මනින් ඔවුන්ට ක්‍රීඩාංගණවල දොරටු විවෘත කළ හැකි නම් හොඳයි කියල මම හිතනවා. අපි මෙම වසංගතය සමඟ ජීවත් විය යුතුයි. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා වගේම අපි නීතිවලටත් ගරු කළ යුතුයි. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීමට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ.” යැයිද ඔහු වැඩි දුරටත් කීය.

පස්වරක්ම ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන ‘බැලන් ඩි’ඕර්’ කුෂලානයට හිමිකම් කියා ඇති රොනල්ඩෝ, මෙවර ‘සෙයිරි ඒ’ ශූරතාවලියේද වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත්ව සිටියි. ඔහුගේ ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය මේ වන විට ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවුවද, ඔවුන් සහ පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම අතර ඇත්තේ ලකුණු 10 ක පරතරයක් පමණි.

මේ වන විට 35 වැනි වියේ පසුවන රොනල්ඩෝට ජාත්‍යන්තර තරගවලදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා සිටින ඉරානයේ අලී ඩේයිගේ (ගෝල 109) ලෝක වාර්තාව පසුකර යෑම සඳහා අවශ්‍යව ඇත්තේ තවත් ගෝල 7 ක් පමණි.  

“වයසින් වැඩක් නැහැ. ක්‍රීඩා කිරීම සඳහා වැදගත් වන්නේ මනසයි..... ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයක පසුවෙනවා නම් ගැටලුවක් නැහැනෙ,”
“හෙට කුමක් සිදුවේවි දැයි කියලා මම දන්නෙ නැහැ. නමුත් මම මේ මොහොතේ, වර්තමානයේ ජීවත් වෙනාවා.... ”

“මේ මොහොත ඉතාම හොඳයි, මට ඒ ගැන සතුටු වෙනවා. මෙය මගේ ජීවිතයේ ගතවෙමින් තිබෙන හොඳ මොහොතක්. තවමත් මගේ ක්‍රීඩාශීලී බව මට දැනෙනවා. ඒ නිසා තව අවුරුදු ගණනාවක් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”  යැයිද රොනාල්ඩෝ පැවසීය.

“මෙය පාපන්දු ක්‍රීඩාවයි, හෙට කුමක් සිදුවේදැයි කියලා අපි දන්නෙ නැහැ. තරුණ පිරිමි ළමයින් සමඟ කතා කරන විට මම නිතරම කියන්නේ ‘මේ මොහොත භුක්ති විඳින්න‘ කියලයි. මොකද ඉදිරියේදී කුමක් සිදුවේදැයි කියලා අපි නොදන්න නිසා. මගේ ඇස් අනාගතය ඉතා දීප්තිමත් ලෙස දකිනවා. ඒ ගැන මම බෙහෙවින්ම සතුටට පත්වෙනවා.” යැයිද ඔහු සඳහන් කළේය.

ලිස්බන් නුවර ස්පෝටිං ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මුල්ම වරට යුරෝපීය ලීග් පාපන්දු තරග සඳහා සහභාගි වූ රොනාල්ඩෝ, 2002-2003 තරගවාරය තුළ තරග 31 කට ක්‍රීඩා කළේය. එහිදි දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු වයස 18 සම්පූර්ණ වනවාත් සමග මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත විය.

වසර හයක් පුරා මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග 292 කට ක්‍රීඩා කිරීමෙන් පසුව, ඔහු 2009 වසරේදී රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට එක්විය. ඉන් අනතුරුව 2018 වසරේදී ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය සමග එක්වන තෙක් වන ඔහු රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

අවසන් මහ තරගයේදී ප්‍රංශය පරාජය කරමින් 2016 වසරේ පැවැති යුරෝපීය පාපන්දු ශූරතාවලිය ජයගැනීමත් සමග 2022 වසරේ කටාර්හිදී පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයගැනීමට පෘතුගාලයට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව රොනාල්ඩෝ පවසයි.  

කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමන ලද 2020 යුරෝපීය පාපන්දු ශූරතාවලියේදී රොනාල්ඩෝ වාර්තා කිහිපයක් පසුපස හඹා යනු ඇත. එහෙත් ඔහු එම වාර්තා බිඳ දමන අයුරු දැක බලා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන්ට නැවතත් ක්‍රීඩාංගණවලට පැමිණීමට ඉඩ දෙන්නේද නැද්ද යන්න පිළිබඳව තරග සංවිධායකයන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත.


-036

 


අදහස් (0)

නරඹන්නන් නැතිව අපි සර්කස් පෙන්වනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.