Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නමගිය කණ්ඩායම් පසුබසිති

නමගිය කණ්ඩායම් පසුබසිති

නාමල් පතිරගේ - 2020 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජවාලේන් පිල සහ අප්කන්ට්‍රි ලයන්ස් අතර තරගයේදී ජාවාලේන් පිලේ අබ්දුල් ලතීෆ් ගෝලයක් ලබාගත් අවස්ථාව...

සභාපති - වැන්ටේජ් කුසලාන පාපන්දු ලිග් තරගාවලියේ ආරම්භයේදීම කැපී පෙනෙන සිදුවීමක් වන්නේ නමගිය කණ්ඩායම් කීපයකගේම පසුබැසීමයි. අපේක්‍ෂා නොකළ අන්දමින් එම තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් වෙතින් ඔවුන්ට තියුණු සටනක් එල්ලවී තිබේ.

එමගින් තරගාවලියේ විශේෂිත තරගයක් වන්නේ ශූරයන්ගේ තරගාවලියේ තරග වැදුණු ප්‍රබල කණ්ඩායමක් වන රිනවුන් කණ්ඩායම පරාජය කිරීමට කොළඹ නිව්ස්ටාර් කණ්ඩායම සමත් වීමයි. නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය පළමු පෙළ පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායමකි.

තරග 37කින් සමන්විත සභාපති කුසලාන පාපන්දු තරගාවලිය මෙම 31 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. ඊයේ (11) දිනය නිමාව දක්වා පැවති තරග 10ක් අතරින් නාවික හමුදා කණ්ඩායම හා මාවනැල්ල - සෙරන්ඩිබ් කණ්ඩායම අතර තරගයද ඉතා තියුණු මුහුණුවරක් ගත්තේ ගෝල 3-3කට සම තත්ත්වයෙන් අවසන් වෙමිනි. ඒ අතර එෆ්.ඒ. කුසලාන ශූරයන්වන පොලිස් පිල විසින් රත්නම් පිල ගෝල 4-2කට පරාජය කිරීමට සමත් විය.

තරග තහනමෙන් මිදී වසරකින් පමණ පසුව තරග බිමට පිවිසි බේරුවල සුපර්සන් පිල ශූරයන්ගේ තරගාවලියේ කුසලාන (2019) දිනූ යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) කණ්ඩායමට පරාජය වූයේ ගෝල 4-1කිනි. සුපර්සන් කණ්ඩායම ශූරයන්ගේ තරගාවලියේ අතරමග ඉවත් කිරීමෙන් අවසන් ස්ථානයට පැමිණි කණ්ඩායමයි.

ජාතික පාපන්දු සංචිතයට දක්‍ෂතා හෙබි තවත් ක්‍රීඩකයන් සොයාගැනීමේ අරමුණින් සති තුනකින් පවත්වා අවසන් කෙරෙන මෙම තරගාවලියේ තරග නිරීක්‍ෂණය කිරීම සඳහා ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියානු ජාතික අමීර් ඇලජික්, ජාතික පාපන්දු තාක්ෂණ කමිටුවේ සභාපති රෝහිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ තාක්ෂණ කමිටුවක් පත් කිරීමට පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය සඳහා රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් වැය කරන බව පාපන්දු සම්මේලනය පවසයි. හෙට (13) සිට තරගාවලියේ පැවැත්වෙන තරග තීරණාත්මක මුහුණුවරක් ගන්නා අතර එහි ජයග්‍රාහකයන් අවසන් වටයට පිවිසීමේ වැඩි ඉඩකඩක් ලැබී තිබේ.

ලීග් තරගාවලියක් වන බැවින් මෙහි මූලික වටයේදී කාණ්ඩ පහේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභී කණ්ඩායම් පහට අමතරව දෙවනුව එම ලකුණු අනුව ඉහළින්ම සිටින කණ්ඩායම් තුනක් මෙම 23-24 දෙදින සුගතදාස පිටියේදී පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා නිර්දේශ කෙරේ.

 

වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රතිඵල

♦ කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් මොරගස්මුල්ල යූත් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී (3-1)
♦ ජාවාලේන් පිල විසින් නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් පිල පරාජය කරන ලදී (3-2)
♦ කොළඹ නිව්ස්ටාර් පිල විසින් රිනවුන් පිල පරාජය කරන ලදී (1-0)
♦ වෙන්නප්පුව නිව්යංග්ස් පිල හා මාතර සිටි පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
♦ යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදී (4-1)
♦ බේරුවල රෙඩ්ස්ටාර් පිල හා සෝන්ඩර්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
♦ නාවික හමුදා (සී-හෝක්ස්) පිල හා මාවනැල්ල සෙරන්ඩිබ් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (3-3)
♦ පොලිස් පිල විසින් රත්නම් පිල පරාජය කරන ලදී (4-2)


හෙට (13) පැවැත්වීමට නියමිත තරග
(පස්වරු 3.30)

♦ කොළඹ නිව් ස්ටාර් - මාතර සිටි පිල අතර සුගතදාස පිටියේදී
♦ වෙන්නප්පුව නිව්යංග්ස් - රිනවුන් අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී
(පස්වරු 6.30)
♦ මොරගස්මුල්ල යූත් - නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් අතර සුගතදාස පිටියේදී
♦ ජාවාලේන් - කළුතර බ්ලූස්ටාර්ස් අතර රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී


(ඡායාරූපය – ළහිරු හර්ෂණ)


අදහස් (0)

නමගිය කණ්ඩායම් පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.