Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දිනුම වෙනුවට ආරක්ෂාව සොයයි

දිනුම වෙනුවට ආරක්ෂාව සොයයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 33කට පසුව දකුණු කොරියානුවන් ජාත්‍යන්තර පාපන්දු තරග බිමේදී ශ්‍රී ලංකාවට මුණගැසෙන ලෝක කුසලාන පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ තරගය අද (10) දකුණු කොරියාවේ ‘හැවසෙඔන්ග්’ නුවරදී පැවැත්වේ.

කටාර් රාජ්‍යයේදී වසර 2022 දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප සුදුසුකම් සපිරීමේ දෙවැනි වටයේ තරගයකි.

ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෙම දෙරටේ දස්කම් දෙස බලනවිට එය අහසට පොළොව මෙන් වෙනස්කම් ඇති කණ්ඩායම් දෙකකි. මෙවර ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේදී ශ්‍රී ලංකාවට මුණගැසෙන ප්‍රතිවාදීන් අතර වඩාත්ම ප්‍රබල කණ්ඩායම ද දකුණු කොරියාවයි.

1986 සිට එතෙක් පැවැති ලෝක කුසාලන පාපන්දු තරගාවලි සියල්ලේදීම අවසන් කණ්ඩායම් 32 අතරට පැමිණ සිටින දකුණු කොරියාව 2018 ‘මොස්කව්’ ලෝක කුසාලන පාපන්දු තරගාවලියේදී 19 වැනි ස්ථානය අත්කර ගත් කණ්ඩායමයි. ලෝක කුසාලන තරගාවලියේදී ඔවුන්ගේ හොඳම දස්කම ඔවුන්ගේ රටේදීම පැවැති 2002 ලෝක කුසලාන තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වීමයි.

ඔලිම්පික් උළෙල කිහිපයකදීම අර්ධ අවසන් පූර්ව වටය දක්වා දස්කම් දක්වා ඇති දකුණු කොරියානුවන් වසර 2016 බ්‍රසීලයේදී අවසන් වරට පැවැති ඔලිම්පික් උළෙලට වයස 23න් පහළ කණ්ඩායම ඉදිරිපත් කරමින් සිවුවැනි ස්ථානය ලබා තිබේ.

මේ වනවිට ආසියාවේ ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානයේ ද ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 37 වැනි ස්ථානයේ ද ඔවුන් පසුවෙයි ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් අනුව පිළිවෙළින් පසුවන්නේ 45 වැනි හා 202 වැනි ස්ථානවලයි.

එම ශ්‍රේණිගත කිරීම්වලින්ම දෙරටේ පාපන්දු දස්කම්වල පරතරය පැහැදිලි වේ. අවසන් වරට පැවැති 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු රන් පදක්කමද දකුණු කොරියානුවන් සතුවිය.

 වසර 2050 දී ලෝක පාපන්දු කුසලාන දිනා ගැනීමේ දීර්ඝ කාලීන වැඩසටහනකට මේ වනවිටත් අවතීර්ණ වී සිටින ආසියාවේ පාපන්දු ‘ගලිවරයන්’ බවට පත්ව සිටින කොරියානුවන්ට අද මුණගැසෙන ශ්‍රී ලංකාවේ දස්කම් ඔවුන් හා ‘ලිලිපුට්ටන්’තරම් වුවත් අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකාවේ උත්සාහය වන්නේ ආරක්ෂාකාරී තරග රටාවකට අවතීර්ණ වෙමින් හැකිතාක් ගෝල පරතරය අවම කර ගැනීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රූමි පකීර් අලි මහතා පවසයි.

කොරියාවට ළඟාවන අවස්ථාවේදී ක්වාලාලම්පූර් නුවරට පැමිණ පසුගිය සෙනසුරාදා (5) මලයාසියාව සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගිවූ ශ්‍රී ලංකාව එම තරගයෙන් ගෝල 6-0 ක පරාජයක් ලැබීය. ශ්‍රී ලංකාව අවසන් වරට 1986 දී දකුණු කොරියාව ජාත්‍යන්තර පාපන්දු තරගයක දී මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පරාජය සටහන් වන්නේ ගෝල 4-0 ක් පරිදිය.

දකුණු කොරියාවට ළඟාවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සෙන්ටිග්‍රේඞ් 16 ක් තරම් වන ශීත කාලගුණික තත්ත්වයක් මැද පෙර පුහුණුවීම් ආරම්භ කළ බව කළමනාකරු සුනිල් සේනවීර මහතා හැවසෙඔන්ග් නුවර සිට ‘ලංකාදීප’යට පැවැසීය. මෙවර ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ මෙතෙක් මුහුණ දුන් තරග දෙකක දී ශ්‍රී ලංකාව  තර්ක්මෙනිස්ථානයට (2-0) හා උතුරු කොරියාවට (1-0) පරාජය වී තිබේ.

ශ්‍රී ලංකාව මෙම 15 වැනිදා කොළඹදී එහි ඊළඟ තරගයට මුහුණ දෙන්නේ ලෙබනනයට එරෙහිවයි. දෙවැනි වටයේ එයින් පසුව ශ්‍රී ලංකාවට තවත් තරග හතරක් ඉතිරිව ඇත. ලබන 2020 ජුනි 4 වැනිදා දක්වා එම තරග පැවැත්වේ.

දකුණු කොරියානුවෝ 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු තරග මෙතෙක් 16 කට මුහුණ දී ඉන් පරාජයට පත්ව ඇත්තේ එකම තරගයක් පමණි. ඔවුන් 2019 ජනවාරි මාසයේ එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන පෙර අර්ධ අවසන් පූර්ව තරගයකදී කටාරයට ගෝල 1-0 කින් අනපේක්ෂිත පරාජයක් ලබා තිබේ.

අවසන් වරට ඔවුන් පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ඇස්ගබාට් නගරයේ පැවැති ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ තරගයකදී තර්ක්මෙනිස්ථානය ගෝල 2-0කින් පරාජය කර තිබේ.

 


අදහස් (0)

දිනුම වෙනුවට ආරක්ෂාව සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.