Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩිෆෙන්ඩර්ස් - පාරෝ හෙට හමුවෙති

ඩිෆෙන්ඩර්ස් - පාරෝ හෙට හමුවෙති

යොහාන් භාසුර - 2020 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පාපන්දු සම්මේලනය මෙහෙයවන ආසියානු ක්‍රීඩා සමාජ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම සහ භූතානයේ පාරෝ කණ්ඩායම අතර පළමු වටයේ තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී හෙට (22) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. මෙම තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.

ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් වීම නිසා මෙම තරගාවලියට සුදුසුකම් ලැබීය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම දෙවැනි වටයේ තරගයේදී ඉන්දීය ජේ.එස්.ඩබ්ලිව්. බැංගලෝර් පිලට එරෙහිව තරග කිරීමට සුදුසුකම් ලබයි.

මෙම තරගයට සහභාගි වන ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමට ඝානා ජාතික ක්‍රීඩකයෙක් සහ නයිජිරියානු ජාතික ක්‍රීඩකයෝ දෙදෙනෙක් ක්‍රීඩා කරති.

ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු පිලේ හිටපු නායකයකු වන ඩඩ්ලි ස්ටන්වෝල් මහතා පැවසුවේ තම කණ්ඩායම පුහුණු තරග තුනකට ද සහභාගි වී හොඳ සූදානමකින් සිටින බවයි.

“අපි මේ මස 3 වැනිදා තමයි මෙම තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කළේ. ඉසඩීන් වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මෙම තරගයේදී අප ඉවත් කළා. මොකද ඔහු දැන් වයස 39 ක විතර කෙනෙක්. අපි ඒ වෙනුවට ඉදිරිපෙළට විදේශ ක්‍රීඩකයන් දෙපළක් ඇතුළත් කළා”

“කණ්ඩායමේ අවශ්‍යතාව අනුව වෙනස්කම් කළ යුතුයි. ඒ වගේම මේ කණ්ඩායම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ දක්‍ෂ ක්‍රීඩකයන් රැස්කින් සමන්විත වෙනවා” යැයි ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා වැඩි දුරටත් පැවසීය.

ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමේ නායක සුනිල් රොෂාන් පැවසුවේ තම කණ්ඩායම පසුගිය තරගවල ප්‍රතිඵලය නොව මේ තරගය පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බවත් පුහුණුකරු සකස්කර තිබෙන සැලැස්මට අනුව පරිසරයේ වාසියත් ලබාගෙන ක්‍රීඩා කරන බවයි.

භූතානයේ පාරෝ කණ්ඩායමේ නායක ජිග්මේ ටෂිර්ලින් පැවසුවේ ශ්‍රී ලංකාවේ දැන් පවතින දැඩි රස්නය සමඟ කාලගුණය අභියෝගයක් බවට පත්ව ඇති බවත් එයට හුරුවෙමින් සිටින බවයි.

“අපේ කණ්ඩායම මානසිකව, ශාරීරිකව සහ සැළසුම් යන අංශ තුනෙන්ම හොඳ සූදානකින් ඉන්නවා. අපේ කණ්ඩායමේ වැඩි පිරිසකට ශ්‍රී ලංකාව අලුත් තැනක්. අපේ කණ්ඩායමට කැමරොන් සහ ඉන්දීය ක්‍රීඩකයකු බැගින් ඇතුළත්ව ඉන්නවා” ටෂිර්ලින් වැඩි දුරටත් පැවසීය.

පාරෝ කණ්ඩායමේ පුහුණුකරු පුෂ්පලාල් ශර්මා මහතා පැවසුවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ළත් කණ්ඩායමක් මෙම තරගයට සහභාගි වී සිටින බවයි.     

මෙම තරගාවලියේ ඩිෆෙන්ඩර්ස් සහ පාරෝ කණ්ඩායම අතර භූතානයේ  තරගය භූතානයේ තිම්පුහි නුවරදී මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ඩිෆෙන්ඩර්ස් - පාරෝ හෙට හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.