Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලියක්

අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලියක්

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු සමුළුවේ අනුග්‍රහයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ පහක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට වැඩි වටිනාකමින් යුත් පිරිවැයක් දරන අර්ධ වෘත්තීය මට්ටමේ ලීග් පාපන්දු තරගාවලියක් මෙම වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පැවසීය. ඒ සඳහා ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ  කණ්ඩායම් 17 ක් අතරින් හොඳම කණ්ඩායම් 10ක් තෝරා ගැනෙන අතර එම තේරීම් සඳහා විශේෂ නිර්නායකයන් සකස් කරන බවත් ජස්වර් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩාවක් ඇතිකිරීමේ වටපිටාව සකස් කරමින් නව තරගාවලිය  හඳුන්වාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය උනන්දු වී සිටින බවත් පාපන්දු ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ අතර මෙතෙක් සම්මේලනය පවත්වාගෙන ආ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ශූරයන්ගේ ලීග් තරගාවලිය කණ්ඩායම් 12 කට සීමා කරමින් තව දුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. මෙම තරගාවලිය සඳහා මේ වන විට කණ්ඩායම් 18 ක් ක්‍රීඩා කරයි. 

ශූරයන්ගේ ලීග් තරගාවලිය මේ වසරේ ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. යෝජිත අර්ධ ලීග් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කෙරෙන්නේ ශූරයන්ගේ ලීග් තරගාවලියේ අවසානයෙන් පසුවය. 

හඳුන්වා දෙන නව අර්ධ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වල ක්‍රීඩකයන් සඳහාද ගෙවීම් ලබාදෙන අතර ඒ සඳහා  ආරම්භයේදී ලෝක පාපන්දු  සමුළුවේ අනුග්‍රහය ලබා ගන්නා අතර පසුව ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකයකු ඊට සම්බන්ධ කර ගැනීමටද පාපන්දු සම්මේලනය උනන්දු වී සිටින බව එහි ලේකම්වරයා  පවසයි.

නව තරගාවලිය මාස හයකින් පවත්වා අවසන් කිරීමට සම්මේලනය අපේක්‍ෂා කරයි.  


අදහස් (0)

අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.