Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුපර් ලීග් පාපන්දු තරගාවලියට කෝටි 11 ක්

සුපර් ලීග් පාපන්දු තරගාවලියට කෝටි 11 ක්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

දිවයිනේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ 10ක් පෞද්ගලික සමාගම් (ප්‍රයිවට් ලිමිටඩ්) බවට ලියාපදිංචි කරමින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය සඳහා රුපියල් මිලියන 114 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. ලබන නොවැම්බර් 20 වැනිදා සිට කොළඹ සුගතදාස පිටියේදී මෙම තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් හා අධීක්ෂණයෙන් සංවිධානය කෙරෙන මෙම පාපන්දු තරගාවලියේ විශේෂත්වය එය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අර්ධ වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලිය වීමයි. තරගාවලියට නිර්දේශ කර තිබෙන ක්‍රීඩා සමාජ 10 සඳහාම රුපියල් මිලියන තුනක් බැගින් මුදල් ප්‍රදානය කෙරෙන අතර මෙම ලීග් පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම සඳහා රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් ප්‍රදානය කිරීමට මේ වනවිට යෝජනාවී තිබේ.

එතැන් සිට 10 වැනි ස්ථානය දක්වා සහභාගිවන සෙසු කණ්ඩායම් සඳහාද මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අතර තරගවලට සහභාගිවීම සඳහා කොළඹට පැමිණෙන පිට පළාත් කණ්ඩායම් සඳහා සුපිරි ප්‍රවාහන පහසුකම් ලබාදීමටද තරගාවලියේ විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්වීම හා කවුන්සිල් රැස්වීම පෙරේදා (3) ටොරින්ටන් පෙදෙසේ එම මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට එහිදී වැඩි කාලයක් ගතකර තිබේ.  

තරගාවලිය මෙහෙයවීම සඳහා එහිදී පත්කළ විශේෂ කමිටුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාය. පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර්, සම්මේලනයේ තරග කමිටුවේ නව සභාපති සහකාර පොලිස් අධිකාරි අශෝක නැවුගලගේ, පාපන්දු සම්මේලනයේ උප සභාපති නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී. මුණසිංහ හා විධායක කමිටු සාමාජික පී.ඒ.ජී. පීරිස් යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

තරග වදින කණ්ඩායම් සඳහා විදේශීය ක්‍රීඩකයන් සිව් දෙනකු බැගින් සහභාගිකර ගැනීමේ අවස්ථාව සළසා තිබේ. එය ආසියානු රටවලින් පිට තිදෙනකු හා ආසියානු රටකින් එක් ක්‍රීඩකයකු බැගින් වන පරිදිය. මෙතැන් පටන් වාර්ෂිකව පැවැත්වීමට සැළසුම්කර තිබෙන තරගාවලිය සඳහා වසර තුනක් යනතුරු එහි මුල් කණ්ඩායම් 10 පමණක් සහභාගිකර ගැනීමට දැනට යෝජනාවී තිබේ.

ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියේ ආරම්භයත් සමග මෙතෙක් පවත්වාගෙන ආ ශූරයන්ගේ තරගාවලිය කණ්ඩායම් අටකට සීමාකෙරේ. වසර තුනක් යාමෙන් පසුව සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් වෙනසක් කෙරෙන අතර එහිදී එතෙක් ඇතුළත්ව සිටින කණ්ඩායම් 10ට අමතරව ශූරයන්ගේ තරගාවලියේ ශූරතාව හා අනු ශූරතාව ලබන කණ්ඩායම් දෙකද සුපර්ලීග් තරගාවලියට බද්ධ කෙරේ.  

ශූරයන්ගේ තරගාවලියේ කණ්ඩායම් අඩුව සඳහා පළමු පෙළ අන්තර් සමාජ පාපන්දු තරගාවලි ශූරයන් හා අනුශූරයන් වන කණ්ඩායම් හතරක් ආදේශ කිරීමට යෝජනාවී තිබේ. පෙරේදා පැවති පාපන්දු සම්මේලනයේ විධායක සභා රැස්විමේදී ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත් කළ අවසන් යෝජනාවලියට අනුමැතිය හිමිව තිබේ.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවසුවේ විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයේදී කොවිඩ් නිරෝධායන ක්‍රියාවලියට ඔවුන් අනුගත විය යුතු බැවින් තරගාවලිය ආරම්භ  කිරීම සඳහා දැනට සැලසුම් කර තිබෙන දිනවල වෙනසක්වීමේ ඉඩකඩක් ද පවතින බවයි.

ශූරයන්ගේ තරගාවලියට සහභාගිවූ කණ්ඩායම් 17 ට ආසියානු පාපන්දු සමුළුවේ අධීක්ෂණයෙන් ඉදිරිපත් කළ  කොන්දේසි මාලාවට අනුගත වෙමින් මෙම තරගාවලියට අයැදුම් කිරීමේ අවස්ථාව සළසා තිබුණි. ඒ  අනුව එම කොන්දේසි මාලාව ප්‍රමාණවත් පරිදි සපිරීමට සමත්වූ ක්‍රීඩා සමාජ 10ක්  තරගාවලියට පළමුව නිර්දේශ කර ගත් බව පාපන්දු  සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

මෙම කොන්දේසි මාලාවට අනුගතවීමට අපොහොසත්වූ බව කියන නමගිය ක්‍රීඩා සමාජ දෙකකට තරගාවලිය අහිමිවීම කැපී පෙනේ. ඒ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය හා ජාවාලේන් ක්‍රීඩා සමාජයයි.
සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙරට වසර 100ක් සපිරූ එකම පාපන්දු ක්‍රීඩා සමාජයයි. ඔවුන් පසුගිය 2018 හා 2019 වසර දෙකේදීම එෆ්.ඒ. කුසලාන අනුශූරතාව හිමිකරගත් ක්‍රීඩා සමාජයයි.

ඒ අතර බේරුවල රෙඩ්ස්ටාර් ක්‍රීඩා සමාජය පළමු වතාවට පැවැත්වෙන මෙම තරගාවලියට නිර්දේශවීම කැපී පෙනේ. ඉකුත්දා පවත්වා නිමකළ සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටය දක්ව පැමිණෙමින් රෙඩ්ස්ටාර් ක්‍රීඩකයෝ  දස්කම් දැක්වූහ.
තරගාවලිය අහිමිවූ ‘ජාවාලේන්’ ක්‍රීඩා සමාජයද එම තගරවලියේ අවසන් පූර්ව වටය දක්වා දස්කම් දැක්වීය.

තරගාවලිය මාස හයක් දක්වා ඇදී යන අතර සති අන්ත දිනවල සුගතදාස පිටියේදී තරග පැවැත්වේ. මෙම සුපර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයක් පැවැත්වීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ:-
රිනවුන්, වෙන්නප්පුව නිව් යංග්ස්, රත්නම්, කොළඹ ක්‍රීඩා සමාජය, නාවික හමුදාව (සීෆෝක්ස්), ගුවන් හමුදාව  (බ්ලු ඊගල්ස්), යුද හමුදාව (ඩිෆෙන්ඩර්ස්), නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස්, බේරුවල  රෙඩ් ස්ටාර්ස්, කළුතර බ්ලුස්ටාර්.

 


අදහස් (0)

සුපර් ලීග් පාපන්දු තරගාවලියට කෝටි 11 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.