Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football විදේශිකයන්ගෙන් අයැදුම්පත් 8 ක්

විදේශිකයන්ගෙන් අයැදුම්පත් 8 ක්

නාමල් පතිරගේ - 2020 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරු ධුරය සඳහා විදේශිකයන්ගෙන් අයැදුම්පත් අටක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි. අයැදුම්පත් එවූ පුහුණුකරුවන් අතර පළපුරුදු ජාත්‍යන්තර පාපන්දු පුහුණුකරුවන් කිහිපදෙනකුම සිටින බවත්, මීට පෙර බෙලරූස් සහ බොස්නියාවේ ජාතික පාපන්දු පුහුණුකරු ධුර පුහුණුකරුවකුද සිටින බවත්  වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ලංකාදීපයට පැවසුවේ එම අයැදුම්පත් පරීක්ෂාවෙන් පසුව වඩාත් සුදුසු අපේක්ෂකයන් ඉතා ඉක්මනින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට අපේක්ෂා කරන බවයි.

මේ වන විටත් විදෙස් රටවල සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික පාපන්දු පුහුණුකරුවන් කිහිප දෙනකුද ශ්‍රී ලංකාවේ සේවයට කැමැත්ත පළ කර ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ඔවුන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යෝජනා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

දැනට ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරුවා වන රූමී නිසාම් පකිර් අලි මහතා වසර දෙකක සේවයෙන් පසුව ලබන මාර්තු මාසයේදී ධුරයෙන් ඉවත්ව යාමට නියමිතය. 

අවසන් වරට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම විදේශීය පුහුණුකරුවකුගේ සේවය ලබා ගෙන ඇත්තේ වසර 2014 - 15 කාලසීමාවේදීය. ඔහු සර්බියානු ජාතික පාපන්දු පුහුණුකරු නිකොලා කවසොවින් මහතාය.

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ සේවය කළ විදේශීය පාපන්දු පුහුණුකරුවන් අතර 1993 - 95 කාල සීමාවේ කටයුතු කළ බ්‍රසීල ජාතික පුහුණුකරු ජෝර්ජ් ෆෙරෙයිරා මහතා කැපී පෙනේ. ඔහු යටතේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉහළම ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණය ලබා තිබේ. ඒ 1995 කොළඹදී පැවැති සාක් රන් කුසලාන (වත්මන් දකුණු ආසියානු ශූරතාවලිය) පාපන්දු තරගාවලියේදී ඉන්දියාව පරදවා ජය ගැනීමයි.

බ්‍රසීල ජාතික මාකෝස් ෆෙරෙයිරා (2000/04) කොරියානු ජාතික ජින්ග් ජුන්ග් (2006 -08 සහ 2010-12) බ්‍රසීල ජාතික ක්ලෝයියෝ රොබේටෝ (2013 -14) මීට පෙර ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරුවන් වූ විදේශිකයෝ වෙති.  ශ්‍රී ලංකාව වසර 2006 න් පසුව සාග් පාපන්දු පදක්කමක් දිනා නැති අතර, කොළඹදී එම වසරේ පැවැති 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු රිදී පදක්කම ශ්‍රී ලංකාව හිමි කර ගන්නා විට මෙරට සේවය කළේ කොරියානු පුහුණුකරු ජින්ග් ජුන්ග් මහතායි.

ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 205 දක්වා පහළට වැටී තිබෙන අතර, ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව ද අවසන් (45 වැනි) ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ. මෙවන් අවස්ථාවකදී නැවතත් විදේශීය පුහුණුකරුවෙකු පිළිබඳව සිතා බැලීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කියයි. 

වසර 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබාගත් නමුත් ශ්‍රී ලංකා පිල එම සුදුසුකම ලබාගත්තේ පළමු වටයේ තරගයක සඳහා සහහාගි වීමට සිටි මැකාවෝ කණ්ඩායම පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවට නොපැමිණි බැවින් ලද නිතරග ජයක් හේතුවෙනි. 

ගෙවී ගිය මාස හතක කාලයකදී ජාත්‍යන්තර තරග 11කට සහභාගි වූ ශ්‍රී ලංකාව එහිදී අත්කරගෙන ඇත්තේ මැකාවෝ රාජ්‍යයෙන් ලද නිතරග ජයක් පමණි. ලාඕසය සමග එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකාව සෙසු සියලුම අන්තර්ජාතික තරග පරාජයට පත්ව තිබේ.

රූමී පකිර් අලි මහතා නිල වශයෙන් ජාතික පුහුණුකරු ධුරයේ කටයුතු බාරගත්තේ 2018 වසරේ පෙබරවාරි මාසයේදීය. ඔහු වැඩ බාර ගැනීමෙන් පසුව මේ දක්වා තරග තරග 18 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම බංග්ලාදේශය සමග පැවැති සුහද ජාත්‍යන්තර තරගයක් පමණක් ජය ගෙන තිබේ. එය ජයගත්තේ 1-0 ක් ලෙසිනි. 

මාලදිවයින හා ලිතුවේනියාව සමග පැවැති තවත් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණු අතර ඉතිරි සියලු තරග ශ්‍රී ලංකාව පරාජය විය. රූමී පකිර් අලි මහතා පුහුණුකරුවකු ලෙස තවදුරටත් අසාර්ථක වූ තරගාවලියක් වූයේ නේපාලයේ කත්මණ්ඩු  නුවරදී නොබෝදා නිමාවට පත්වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අත්කර ගත් පරාජයයි.

වයස 23න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් ඒ සඳහා සහභාගි වූ අතර, එහිදී රන් පදක්කමක් දිනා ගත් නේපාලය ඇතුළුව මාලදිවයින සමග පැවැති තරග ජය පරාජයෙන් තොරව අවසන් කළත් භූතානය හමුවේ (3-0) පරාජය වීමෙන් ශ්‍රී ලංකාවට දකුණු ආසියානු තරගාවලියේත් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවිය.

පුහුණුකරුවකු වශයෙන් දිගින් දිගටම අසාර්ථක වන රූමී පකිර් අලි මහතාට පාපන්දු සම්මේලනය දුන් අවසන් ඉලක්කය වූයේ කත්මන්ඩු සාග් ක්‍රීඩා උළෙලයි. කෙසේ වුවත් ඩකා නුවරදී දැන් පැවැත්වෙන ‘බංගා බන්දු’ කුසලාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට ද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමග සහභාගි වී සිටින රූමී පකිර් අලි මහතාගේ සේවය එයින් පසුව ස්ථිර ලෙසින්ම අවසන් කිරීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

පකීර් අලි මහතා ශ්‍රි ලංකා පාපන්දු පිලේ පුහුණුකරු ධුරයේ වැඩ බාරගන්නා විට (2018 මාර්තු) ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ පසුවිය. එහෙත් 2019 පෙබරවාරි වන විට ශ්‍රී ලංකාව 201 වැනි ස්ථානය දක්වා පහළට වැටුණි.

පකීර් අලී මහතා මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කර තිබේ. අලි පකිර් මහතා බංගලාදේශයේ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන බී.ජේ.එම්.සී. හා ෂෙයින් ජමාල් යන ක්‍රීඩා සමාජවලත් මාලදිවයිනේ හා ඉන්දියාවේ කේරළයේ ක්‍රීඩා සමාජ කිහිපයක් මීට පෙර පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබේ.

පකීර් අලි මහතා 2015 - 16 පාපන්දු සම්මේලන නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා බාර දුන්නත් ඡන්දය විමසන අවස්ථාවේදී එය ඉල්ලා අස්කර ගත්තේය. 

ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ධුරය සඳහා බඳවා ගන්නා විදේශීය පුහුණුකරුවාට ඇමරිකානු ඩොලර් 6000 ක සීමාවක් වන දීමනා හා පහසුකම් ලබා දෙන බව පාපන්දු සම්මේලනය අවධාරණය කරයි.

කටාර් ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ තවත් තරග තුනකට ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිතය. එහි ආසන්නතම තරගය ලබන මාර්තු 26 වැනිදා උතුරු කොරියාවට එරෙහිව පියොන්ග් ජියෑන්ග්” හිදී පැවත්වේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා අලුතෙන් බඳවා ගන්නා විදේශීය පුහුණුකරුවාගේ සේවය එම තරගයේ සිට ලබා ගැනීමට පාපන්දු සම්මේලනය අපේක්ෂාවෙන් පසුවේ.

 


අදහස් (0)

විදේශිකයන්ගෙන් අයැදුම්පත් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.