Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා මෙසී

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා මෙසී

දමින්ද විජේසූරිය - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හයවැනි වතාවටත් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීට හිමිවී තිබේ. ඕලන්දයේ වර්ගිල් වැන් ඩික් සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවා යමින් ලයනල් මෙසී නැවත වරක් මෙම සම්මානයට පාත්‍ර වී සිටී.

ඕලන්දයේ ඩි ලිගාට් වයස 21 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වී තිබේ.

පාපන්දු ක්‍රීඩකයකු වශයෙන් දිනාගත හැකි ලෝකයේ විශිෂ්ටතම සම්මානය ලෝක කුසලාන දිනාගන්නා කණ්ඩායමක සාමාජිකයකු වීමයි. එහෙත් පාපන්දු ක්‍රීඩකයකු වශයෙන් දිනාගත හැකිලෝකයේ විශිෂ්ටතම කේවල සම්මානය වන්නේ ‘බැලන් ඩි’ඕර්’ යනුවෙන් හැඳින්වෙන සම්මානයයි.

මෙසී වසර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදීත් මෙම සම්මානය දිනා තිබේ. මෙවරත් දෙවැනියා වූ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම සම්මානය පස් වතාවක් දිනා තිබේ.

ස්පාඤ්ඤයේ අන්තර් සමාජ තරගාවලිය වන ලා ලීගා තරගාවලියේදී බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මෙසී මෙම වසරේදීත් සිය කණ්ඩායම තරගාවලියේ ශූරතාව කරා කැඳවාගෙන ගියේය.

“මම ඉතාම වාසනාවන්තයි... මම ආශිර්වාද ලද්දෙක්... තවත් දිගු කාලයක් හොඳින් ක්‍රීඩාකරන්නට මා බලාපොරොත්තු වෙනවා”

“කාලය වේගයෙන් පියාඹා යනවා....මම පාපන්දු ක්‍රීඩාවේ උපරිම තෘප්තියක් ලබනවා....ඒත් මටත් සමුගන්නට දවසක් ඒවි...ඒක අමාරු දෙයක් වේවි” යයිද මෙසී පැවසීය.

ඕලන්දයේ වර්ගිල් වැන් ඩික් පවසන්නේ ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි ක්‍රීඩකයන් පාපන්දු පිටියේ සිටින තුරු තමන්ට මෙම සම්මානය දිනාගැනීම ඉතාමත් අසීරු විය හැකි බවයි.

“මගේ දස්කම් ගැන මම සතුටු වෙනවා. ඒත් ඔහු (මෙසී) වගේ ක්‍රීඩකයන් ඉන්දැද්දී මේ සම්මානය දිනාගැනීම මට පහසු එකක් වන්නේ නෑ” යයි වැන් ඩික් කීවේය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනා එක්ව පිට පිටම වසර 10 ක් මෙම සම්මානය දිනාගත්හ. එහෙත් පසුගිය වසරේදී (2018) ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික් එහි හිමිකරුවා වූයේය.


අදහස් (0)

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා මෙසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.