Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පුහුණුකරුවන් දෙදෙනාටම වැඩ නැතිවෙයි

පුහුණුකරුවන් දෙදෙනාටම වැඩ නැතිවෙයි

නාමල් පතිරගේ - 2020 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වන විට රට තුල උද්ගතව තිබෙන ‘කොරෝනා’ වසංගතය පැතිරීම යාමේ අවදානම හේතුවෙන් දිවයිනට පැමිණ සිටින විදේශීය පාපන්දු පුහුණුකරුවන් දෙදෙනාටම මාස දෙකක පමණ කාලයක් සේවයකින් තොරව සිටීමට සිදුව ඇතැයි වාර්තා වේ. ඔවුන් යටතේ ක්‍රියාත්මක වූ ජාතික පාපන්දු සංචිතය පසුගිය සෙනසුරාදා (14) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පෙබරවාරි 17 වැනිදා වැඩ බාරගත්තේය. බොස්නිසානු ජාතිකයෙකු වන අමීර් ඩොක්සිලාන්ට්‍රි මහතා පසුගිය මාර්තු 4 වැනිදා දිවයිනට ළඟාවූයේ ශ්‍රී ලංකා පාපන්දු කාණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහාය. දැල් (ගෝල) රකින්නන් පුහුණු කිරීම ඔහුට එහිදී පැවරී තිබේ.

කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කෙරුණු ජාතික පාපන්දු පුහුණු සංචිතයට ක්‍රීඩකයෝ 24 ක් අයත් වූහ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික පාපන්දු සංචිතයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බවයි. කෙසේ වෙතත් බොස්නියානු පාපන්දු පුහුණුකරුවන් දෙදෙනා දේශීය පාපන්දු ක්‍රීඩාව අධ්‍යයනය කරමින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ගත කරන බවද අනුර ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව ඔහු යොවුන් ක්‍රීඩකයන් කෙරෙහි තවදුරටත් අවධානය යොමු කරමින් සුදුසු අය වෙතොත් ජාතික සංචිතයට ඇතුළත් කර ගැනීමට සූදානමින් පසුවන බවත් පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය හමුවේ සියලු අන්තර් ජාතික තරග සංචාර හා දේශීය තරගාවලි අත්හිටුවීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ලබන අප්‍රේල් මාසයේදී මෙරට ප්‍රබලතම ක්‍රීඩා සමාජ 10කගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකාවේ පළමු වෘත්තිය මට්ටමේ ලීග් පාපන්දු තරගාවලියද ඒ අනුව කල් දැමීමට තීරණය වී තිබේ.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව එළඹෙන අප්‍රේල්-මැයි-ජුනි යන කාල සීමාව ඉලක්ක කරමින් සැලසුම් කර තිබූ සියළු තරගාවලි හා වැඩසටහන් මේ වනවිට කල් දමා තිබේ. ඒ හේතුවෙන් මෙම 26 වැනිදා පියොන්ග්යෑන්ග්හිදී හා 31 වැනිදා කොළඹදී උතුරු කොරියාවට හා දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව තිබූ කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු ආසියානු කලාප දෙවැනි වටයේ තරග දෙකක් ලබන ජුනි මාසය දක්වා කල් දැමීමට පියවර ගෙන තිබේ.

එම තරග වටයේ ඉතිරිව තිබෙන ලෙබනනයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවන සෙසු තරගය ලබන ජුනි 4 වැනිදා ‘බීරූට්’ නගරයේදී පැවැත්වීමට නියමිතය. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආසියානු කලාප දෙවනි වටයේදී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගිවූ තරග හයෙන්ම පරාජයට පත්ව සිටියි.


අදහස් (0)

පුහුණුකරුවන් දෙදෙනාටම වැඩ නැතිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.