Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉන්දියාව ඉවත් වීමෙන් තරගාවලිය කැළඹෙයි

ඉන්දියාව ඉවත් වීමෙන් තරගාවලිය කැළඹෙයි

නාමල් පතිරගේ - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු (පිරිමි) තරගාවලිය සඳහා ඉන්දියාවේ සහභාගිත්වය අද (27) වනවිටත් අවිනිශ්චිතවීමෙන් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව වඩාත් සංකීර්ණ තත්ත්වයකට මුහුණදීමට සිදුව තිබේ.

පාපන්දු තරගාවලියට දකුණු ආසියානු කලාපයේ රටවල් හතෙන් හයක් සහභාගි වේ. දැනට ඇති සැලැස්ම අනුව මාලදිවයින සමග දෙසැම්බර් 4 වැනිදාත් ඉන්දියාව සමග දෙසැම්බර් 6 වැනිදාත් මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානමින් සිටියේය. එහෙත් ඉන්දීය ලීග් පාපන්දු තරගාවලිය එම දිනවලදීම පැවැත්වෙන බැවින් ඉන්දියාව පාපන්දු (පිරිමි) තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දියාව තරගාවලියෙන් ඉවත් වන්නේ නම් තරග සැලැස්ම සංශෝධනය කිරීමට සිදුවෙයි. එවිට තරගාවලියට සහභාගි වන රටවල් 5 අතර මූලික වටයේ තරග පැවැත්වීමටත් සිදුවේ. වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට පිවිසෙයි.

ඉන්දියාව ගියවර සාග් ක්‍රීඩා උළෙලේ (2016) පාපන්දු (පිරිමි) තරගාවලියේ රිදී පදක්කම දිනාගත් කණ්ඩායමයි. ඒ අවසන් මහ තරගයේ දී නේපාලයට ගෝල 2-1 කින් පරාජය වීමෙනි.

සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග මාලාව කත්මණ්ඩු නුවර දසරත් රංගශාලා පිටියේ දී පැවැත්වේ. ශ්‍රී ලංකාව ඒ සඳහා වයස 23න් පහළ ජාතික කාන්තා හා පිරිමි පාපන්දු කණ්ඩායම් දෙකක් සහභාගි කරවයි. ඔවුන් අනිද්දා (29) උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කරමින් සිටින රූමි පකීර් අලි මහතාට මෙවර සාග් පාපන්දු (පිරිමි) තරගාවලිය ‘කඩඉම්’ තරගාවලියක් බවට පත්ව තිබේ.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අවධාරණය කර ඇත්තේ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පාපන්දු (පිරිමි) පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වන්නේ නම් ඔහුගේ සේවය අවසන් කරන බවයි.

පසුගිය 2016 ‘ගුවහටි’ (ඉන්දියාව) සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මූලික වටයේ දීම ඉන්දියාව (1-0) හා මාලදිවයින (3-1) හමුවේ ලද පරාජය හේතුවෙන් අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට පාපන්දු තරගාවලියෙන් කිසිදු පදක්කමක් හිමිකර ගැනීමට නොහැකි විය.

අවසන් වරට ශ්‍රී ලංකාවට පාපන්දු (පිරිමි) පදක්කමක් වසර 2006 කොළඹ සත්කාරය දැරූ 10 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී හිමිකර ගෙන තිබේ. එහිදී රන් පදක්කම සඳහා වන අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව ප්‍රවේශ වුවත් ප්‍රතිවාදී පාකිස්තානයට ගෝල 1-0 කින් පරාජය වීමෙන් ඔවුන්ට රිදී පදක්කමක් ගැනීමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

සාග් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් පාපන්දු (කාන්තා) තරගාවලිය දෙවතාවක් පමණක් (2010 සහ 2016) පවත්වා තිබේ. එහිදී එම අවස්ථා දෙකේම රන් පදක්කම දිනා ඇත්තේ ඉන්දියාව විසින් වන අතර ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් එහිදී අත්කර ගැනීමට සමත් නොවීය.

සංචාරක ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස මොහොමඞ් ෆසාල් ද එහි කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ලක්ෂිකා රුෂානි ගුණවර්ධනත් කටයුතු කරති. කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තිලක් අල්ෆොන්සෝ මහතාය.

සුනිල් සෙනවීර හා හිරාන් රත්නායක යන මහත්වරු කණ්ඩායම් කළමනාකරුවන් ලෙසත් ලලිත් වීරසිංහ, සම්පත් බණ්ඩාර, දීපානි කුමාරි සමරසිංහ යන මහත්ම මහත්මීන් කණ්ඩායම් දෙකේ සහය පුහුණුකරුවන් ලෙසත් එහිදී කටයුතු කරති.   

 


අදහස් (0)

ඉන්දියාව ඉවත් වීමෙන් තරගාවලිය කැළඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.