Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සෝන්ඩර්ස් - පොලිසිය සටනට සැරසෙති

සෝන්ඩර්ස් - පොලිසිය සටනට සැරසෙති

නාමල් පතිරගේ - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එෆ්.ඒ. කුසලාන වසර 12 කට පසුව සතු කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය උත්සාහ කරයි. එය තමන් සතුකර ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය දරන උපාය මාර්ග කෙතෙක් දුරට සාර්ථක වේදැයි පැනයට විසඳුම් ලබන අන්තර් සමාජ වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් මහ තරගය හෙට (7 වැනිදා) රාත්‍රී 7.30ට රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම පැරණිතම අන්තර් සමාජ පාපන්දු තරගාවලිය ලෙසත් දේශීය පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් ඇත්තේ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියයි. අවසන් පූර්ව තරග වටයේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා (බ්ලූ ඊගල්) ක්‍රීඩා සමාජය ගෝල 5-1 කට පරාජය කරන ලදි. පොලිස් ක්‍රීඩා සමාජය විසින් කළුතර බ්ලුස්ටාර්ස් ක්‍රීඩා සමාජය  (දඬුවම් පහර 4-2) පරාජය කරන ලදි.

සෝන්ඩර්ස් කණ්ඩායම ගියවර තරගාවලියේ (2018) අනුශූරතාව හිමිකර ගත් කණ්ඩායමයි. ශ්‍රී ලංකාවේ පළමු පාපන්දු ක්‍රීඩා සමාජය වන ‘සෝන්ඩර්ස්’ ක්‍රීඩා සමාජය අද අවසන් මහ තරගයට යොමු කරන කණ්ඩායමට ජාතික මට්ටමේ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ව සිටියි.  කෙසේ වුවත් මේ වනවිට එම ක්‍රීඩා සමාජය පවත්වා ගෙන යාමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී සිටින්නේ මුදල් නොමැතිවීමෙනි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පාපන්දු ප්‍රවීනයකු වන අභාවප්‍රාප්ත පී.ඩී. සිරිසේන මහතාගෙන් පසුව සෝන්ඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්වෙච්ඡාවෙන් කටයුතු කරන්නේ සුමිත් වල්පොල මහතායි. මෙම මූල්‍ය ගැටලු තත්ත්වයන් නිසා සිය කණ්ඩායමේ පුහුණුවීම සතියකට දින තුනකට සීමාවී තිබෙන බවත් ඒ සඳහා ස්වෙච්ඡාවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනා කිසිදු ගෙවීමක් නොලබමින් පෙර පුහුණුවීම් සඳහා සහභාගි වන බවත් නිත්‍ය පුහුණුකරු මංජුල සිරිසේන මහතා පවසයි.

මෙවර පෙරළිකාර ගමනක් ඔස්සේ අවසන් මහ තරග කරා පැමිණි පොලිස් ක්‍රීඩා සමාජය කෙරෙහි අද තරගයේ දී නරඹන්නන්ගේ තියුණු අවධානයක් යොමුවනු ඇත. පසුගිය කාලයේ දී පොලිස් පාපන්දු ක්‍රීඩා සමාජයේ දිගින් දිගටම ලද පසුබෑම් අවසන් කරමින් ඔවුන් යළිත් මෙවර (2020) ශූරයන්ගේ තරගාවලියට ඇතුළත්ව සිටින්නේ පළමු පෙළ පාපන්දු තරගාවලියේ කුසලාන දිනා ගනිමිනි.

එම ගමන්මග ඔස්සේ පැමිණ මෙවර එෆ්.ඒ. කුසලාන තරගාවලිය සාර්ථක කරගත් පොලිස් කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විතය. ඔවුන්ගේ නිත්‍ය දැල් රකින්නා වන දිනේෂ් මහේන්ද්‍රන් ප්‍රතිවාදි සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් පැමිණි ක්‍රීඩකයෙකි.  

කලක් ජාතික ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක මහින්ද ගලගෙදර මහතා ලබාගත් අත්දැකීම් මෙවර එහි ප්‍රධාන පුහුණුකරු ලෙස වඩාත් සාර්ථක මෙහෙයවීමකට ඔහුට අත්වැලක් සැපයූ බව පෙනේ. එස්. උදය කුමාර හා නලීන් පෙරේරා යන මහත්වරු පොලිස් කණ්ඩායම් සහය පුහුණුකරුවන් ලෙස මහින්ද ගලගෙදර මහතාට අනගි සහයක් ලබාදෙයි. චාමික කුමාර, පොලිස් කණ්ඩායමටත් උදාර ඉන්ද්‍රජිත් සෝන්ඩර්ස් කණ්ඩායමටත් අද තරගයේදී නායකත්වය ලබාදෙයි.

තරගාවලිය නිමාවට පත් කරමින් අද පැවැත්වෙන්නේ එහි 840 වෙනි තරගයයි. පාපන්දු ලීග 63 කින් ක්‍රීඩා සමාජ 827 ක් ඒ සඳහා සහභාගි වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරයි.
එබොනි හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනය වැන්ටේජ් වෙළඳනාමය යටතේ තරගාවලියට අනුග්‍රහය දක්වන දෙවැනි අවස්ථාව මෙයයි. රුපියල් 7,50,000ක් හා 500,000ක් මෙවර ශූරතාව හා අනුශූරතාව සඳහා ප්‍රදානය කෙරේ. ඒ අතර වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන් සම්මානය ඇතුළුව දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම දැල් රකින්නා සඳහා විශේෂ සම්මාන ප්‍රදානය කෙරේ.

1949 සිට මේ දක්වා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය එෆ්.ඒ.  කුසලාන  15 වතාවත් දිනා ඇත. 1948 පළමු තරගාවලිය ඇතුළුව හය වතාවක දී පොලිස් ක්‍රීඩා සමාජය එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයට වරම් ලැබුවත් කුසලාන දිනා ඇත්තේ වසර 2008 දී පමණි.


අදහස් (0)

සෝන්ඩර්ස් - පොලිසිය සටනට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.