Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සුදුසුකම් ලැබීමේ තරග ඔක්තෝබර් 8 දා සිට

සුදුසුකම් ලැබීමේ තරග ඔක්තෝබර් 8 දා සිට

නාමල් පතිරගේ - 2020 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන පාපන්දු (2022) ආසියානු කලාප දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන ඉතිරි තරග ලබන ඔක්තෝබර් 8 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

ආසියානු පාපන්දු සමුළුව නිවේදනය කර තිබෙන පරිදි ඔක්තෝබර් 8 වැනිදා උතුරු කොරියාවට එරෙහිව සියැන්ග්ජියෝන්ග් නුවරදීද ඔක්තෝබර් 13 වැනිදා දකුණු කොරියාවට එරෙහිව කොළඹදීද හා නොවැම්බර් 12 වැනිදා ලෙබනනයට එරෙහිව ‘බීරුට්’ නුවරදීද ශ්‍රී ලංකාව එම ඉතිරි තරග සඳහා සහභාගිවේ.

කොරෝනා වසන්ගත තත්ත්වය උද්ගතවීමට පෙර මෙම ඉතිරි තරග පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි හා ජුනි යන කාලසීමාව තුළදීය. ශ්‍රී ලංකාව එම තරග වටයේ තමන් සහභාගි වන අවසන් තරගයට ලෙබනනයට එරෙහිව සහභාගිවීමට නියමිතව තිබුණේ බීරුට් නුවරදී පෙරේදා (6) ය.

ලෝක පාපන්දු සමුළුව නිවේදනය කර තිබෙන පරිදි කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප හා ආප්‍රිකානු කලාප දෙවැනි වටයේ ඉතිරි තරග පැවැත්වෙන දිනයන්හි මෙලෙස වෙනසක්වී තිබේ. එහෙත් සෙසු කලාපයන්හි දෙවැනි වටයේ ඉතිරි තරඟ යොදාගත් පරිදි ලබන අගෝස්තු 31 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් ආසියානු කලාප දෙවැනි වටයේ එතෙක් මුහුණදුන් තරග සියල්ල ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙන බැවින් ලෝක කුසලාන 2022 ආසියානු කලාප තෙවැනි වටයට පිවිසීමට ඇත්තේ ඉතාම අල්ප අවස්ථාවකි.

ආසියානු පාපන්දු සමුළුවේ රටවල් 25 ක් කාණ්ඩ පහකින් ලෝක කුසලාන කලාප දෙවැනි වටය සඳහා තරග වදින අතර එහිදී එච් කාණ්ඩයෙන් එහි තරග වදින ශ්‍රී ලංකාව මේ වනවිට කිසිදු ප්‍රසාද ලකුණක් නොලබා අවසන් ස්ථානයේ පසුවේ.

මෙම සියළු කාණ්ඩයන්හි වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙකක් බැගින් වන කණ්ඩායම් 12 ක් ආසියානු කලාප තෙවැනි වටයට ප්‍රවේශ වෙයි. ආසියානු කලාප තෙවැනි වටයේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබන රටවල් දෙකක් කෙළින්ම එම කලාපයෙන් වසර 2022 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා කටාර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබයි. ලොව පුරා සුදුසුකම් සපිරූ රටවල් 32 ක කණ්ඩායම් ඒ සඳහා නිර්දේශ ලබයි.

කොරෝනා වසන්ගත තත්ත්වයෙන් පසුව ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් නැවැත මෙම 22 වැනිදා බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව ආසියානු කලාප දෙවැනි වටයේ ඉතිරි තරග තුනට සහභාගිවීමේ වඩාත් වැදගත්කමක් උසුළන්නේ ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ රාජකාරි කටයුතු බාරගත් බොස්නියානු ජාතික අමීර් ඇලජින් මහතා ජාත්‍යන්තර තරග පිටියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව එය වන බැවිනි. කෙසේ වුවත් එහිදී තම විදේශීය පුහුණුකරුට නිශ්චිත ඉලක්කයක් බාරදීමට තමන් ඉක්මන් නොවන බවත් ලෝක කුසලාන ආසියානු කලාප තෙවැනි වටයේ ඉතිරි තරග වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව හානි අවම කරගෙන හොඳ සටනක්දීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහෙයවන ලෙස ඔහුට උපදෙස් ලබාදී තිබෙන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

ලෝක කුසලාන 2022 ආසියානු කලාප දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන මුළු තරග ගණන අටකි. මෙතෙක් මුහුණ දුන් තරග පහකදීම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.

ප්‍රතිවාදීන්ට එරෙහිව දෙවරක් එකිනෙකා මුණගැසෙන එහිදී ශ්‍රී ලංකාව පළමු තරග අවස්ථාවේදී උතුරු කොරියාවට ගෝල 1 – 0 කින්ද (කොළඹදී), දකුණු කොරියාවට ගෝල 8 – 0 කින්ද හා ලෙබනනයට එරෙහිව ගෝල 3 – 0 කින්ද (කොළඹදී) පරාජයට පත්ව තිබේ.


අදහස් (0)

සුදුසුකම් ලැබීමේ තරග ඔක්තෝබර් 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.