Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සම්මේලන ව්‍යවස්ථාවට ප්‍රබල සංශෝධන

සම්මේලන ව්‍යවස්ථාවට ප්‍රබල සංශෝධන

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 
පාපන්දු සම්මේලන නිලවරණයේදී ලීගයකට ලබා දෙන ඡන්ද බලය එකකට සීමා කිරීමටත් සම්මේලනයේ නිලවරණයෙන් පත්වන නිලධාරීන්ගේ එක දිගට තනතුරු දැරිය හැකි කාල සීමාව උපරිම වශයෙන් වසර 12 කට සීමා කිරීමටත් යෝජනා වී තිබේ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සම්මේලනයේ නීති අංශ නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී කරන ලද නිර්දේශ අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ වත්මන් ව්‍යුහය වෙනස් කෙරෙන තවත් යෝජනා රැසක් සාකච්ඡාවට ලක්වී ඇති බව වාර්තාවේ. 
 
ආසියානු සහ අන්තර්ජාතික පාපන්දු සම්මේලන නීති නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සමගාමීව සකස් කිරීමයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් පැවැසුවේ එමගින් පාපන්දු සම්මේලනය සතු බලය අනුසංගම් හා සංවිධාන අතර බෙදාහැරීමක් සිදුවන බවයි.  
 
අන්තර්ජාතික හා ආසියානු පාපන්දු සම්මේලන නීති නිලධාරීන් ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලන ප්‍රධානීන් සමග ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ කොළඹදී සාකච්ඡා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සියලුම ලීග දැනුවත් කෙරෙන දෙදින නේවාසික වැඩමුළුවක් වත්තල සංචාරක හෝටලයකදී පැවැත්වුණි. එහිදී කෙටුම්පත් කිරීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන ගාල්ල පාපන්දු ලීගයේ සභාපති නීතිඥ තිළිණ පණ්ඩිතරත්න මහතා සම්මේලනයේ නිලවරණය සඳහා නිලධාරීන්ට පිට පිටම තෙවරක් ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සිය විරෝධය පළ කර සිටි බව ද වාර්තා වේ. 
 
පණ්ඩිතරත්න මහතා කලක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය ද දරා තිබෙන අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නීති කමිටුවේ ද කටයුතු කර තිබේ. පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව මේ වනවිට ක්‍රීඩා ඇමැතිවරයා ද දැනුවත් කර තිබේ. 
 
වසර 2001 දී සිදු වූ වගන්ති සංශෝධනයකින් පසුව පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වේ. 1939 දක්වා ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනය මෙහෙය වූයේ ලංකා පාපන්දු සංගමය විසිනි. 
 
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට වාර්ෂිකව, කොටස් වශයෙන්, ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කරයි.  ඒ හැරෙන්නට හඳුන්වා දී තිබෙන වෙනත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති 10 ක් සඳහා ද එකකට ඩොලර් 50,000 ක් බැගින් වන ප්‍රතිපාදන කොන්දේසි මත ලබා දේ. 
 
එම කොන්දේසි වන්නේ ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ඒ සඳහා වන ප්‍රතිපාදන මුදාහැරීමයි. ශ්‍රී ලංකාව වසරට, අවම වශයෙන් ජාත්‍යන්තර පාපන්දු තරග හතරකට සහභාගී වුවහොත් එම එක් ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමක් ලෙස ඩොලර් 50,000ක් ප්‍රදානය කෙරේ. 
 
හලාවත, මහනුවර, කුරුණෑගල හා කෝට්ටේ යන පාපන්දු ලීග හතරක ක්‍රියාකාරීත්වය පාපන්දු සම්මේලනය විසින් මේ වනවිට අත්හිටුවනු ලැබ ඇත. ඒ අනුව දැනට බලගැන්වී තිබෙන පාපන්දු ලීග ගණන 61 කි.
 
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා ඉදිරිපත්ව තිබෙන යෝජනා.
 
දැනට 28 ක්ව පවතින පාපන්දු සම්මේලනයේ විධායක සභාව උපරිම වශයෙන් සාමාජිකයන් 15 දෙනකුට  සීමා කිරීම.
සම්මේලනයේ නිල කාලය සිව් වසරක් කිරීම. 
නිලධාරියකුට එක දිගට තනතුරේ රැඳී සිටිය හැකි කාලය සිව් වසරක් වන නිල කාලයන් තුනකට සීමා කිරීම. (දැන් පවතින ව්‍යවස්ථාවට අනුව එවැනි සීමාවන් පනවා නැත.)
සම්මේලනයේ නිලවරණයේදී ලීගයකට පාවිච්චි කළ හැකි ඡන්ද බලය දෙකේ සිට එකක් දක්වා අඩු කිරීම.
ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුවන්ගේ සංගමයට සම්මේලන නිලවරණයේදී ඡන්ද බලය ලබාදීම. (මෙම සංගමය මේ වනවිට ක්‍රියාත්මක නොවේ.)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා වැටුප් ලබන ස්ථිර පරිපාලන ලේකම්වරයකු පත් කිරීම. 
ස්ථිර පරිපාලන ලේකම්වරයා පත්කිරීමෙන් පසුව නිලවරණයෙන් පත්කර ගන්නා ලේකම් ධුරය අහෝසි කිරීම
පාපන්දු විධායක සභාවට තෝරා ගැනීමේදී වයස් සීමාවන් ප්‍රකාශයට පත් කිරීම.
හඳුන්වාදීමට නියමිත සුපිරි ලීග පාපන්දු තරගාවලිය ක්‍රියාත්මක වී වසර පහක් ඉක්මයාමෙන් පසුව එහි ක්‍රීඩා සමාජ පමණක් ඇතුළත් පාපන්දු නිලවරණයේදී ඡන්ද බලය හිමි නව ලීගයක් ස්ථාපිත කිරීම.
තීරණ ගැනීමේදී පාපන්දු විධායක සභාවට ඉහළින් උත්තරීතර මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම.

අදහස් (0)

සම්මේලන ව්‍යවස්ථාවට ප්‍රබල සංශෝධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.