Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණුවීම් ආරම්භ කිරීමට එකඟතාව

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණුවීම් ආරම්භ කිරීමට එකඟතාව

editorial - 2020 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ පාපන්දු ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් යළිත් පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා එකඟ වී තිබේ. ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට කුඩා කණ්ඩායම් ලෙස පුහුණුව ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී තිබේ.  

සඳුදා (18 වැනිදා) පැවති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ රැස්වීමේදී පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා සමාජ ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන ලද උපදෙස්වලට අනුව පුහුණුවීම්වල නියැලීමේදී ක්‍රීඩකයන් සමාජ දුරස්ථ නීති රීති පිළිපැදිය යුතු අතර ඔවුන්ට සම්බන්ධතා පුහුණුව සඳහා අවසර දී නොමැත.

ක්‍රීඩකයන්, කළමනාකරුවන්, වෛද්‍යවරුන්, ස්වාධීන විශේෂඥයන් සහ රජය සමග කළ  සාකච්ඡා වලින් පසුව පුහුණුවීම් නැවත ආරම්භ කිරීමේ පළමු අදියර සඳහා ප්‍රිමියර් ලීගය එකඟ වී තිබේ. කෙසේ වුවත් තරග නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රිමියර් ලීගය විසින් මින් පෙර ජුනි මස 12 වැනිදා නම් කරනු ලැබ තිබුණද, ඉදිරි දින කිහිපය තුළ එම දිනය තවත් පසුපසට තල්ලු විය හැකි යැයි අපේක්ෂා කෙරේ.

ඉහළම ප්‍රමිතියකින් යුත් දැඩි වෛද්‍ය ක්‍රමවේදයක් මගින් සෑම ක්‍රීඩකයකුම ආරක්ෂිත පරිසරයක් තුළ පුහුණුවීම් සඳහා නැවත පැමිණීම සහතික කරනු ඇතැයි ප්‍රිමියර් ලීග ප්‍රකාශයක් පැවසීය.

“සියලුම සහභාගිවන්නන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රිමියර් ලීගයේ ප්‍රමුඛතාවයයි. පුහුණුව සඳහා ආරක්ෂිතව නැවත පැමිණීම පියවරෙන් පියවර සිදුවන ක්‍රියාවලියක්.” යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

සම්බන්ධතා පුහුණුව සඳහාද සැලසුම් සකස් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රිමියර් ලීග් කණ්ඩායම්වල ක්‍රීඩකයින්, කළමනාකරුවන්, ක්‍රීඩා සමාජ, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමය සහ ලීග කළමනාකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

සියලුම ක්‍රීඩා සමාජ ඉරිදා සහ සඳුදා දිනවලදී සිය කණ්ඩායම් සඳහා කොරෝනා වයිරස පරීක්ෂණ කළයුතුවන අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල අඟහරුවාදා (ඊයේ) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණ.

බුන්ඩෙස්ලිගා නැවත ආරම්භ කිරීමට පෙර ජර්මනියේ සිදු වූවාක් මෙන් ප්‍රිමියර් ලීගය නැවත ආරම්භ වීමට දින 14 කට පෙර ක්‍රීඩා සමාජ කණ්ඩායම් හෝටලයක හුදෙකලාව රැදී සිටිය යුතුද යන්න පිළිබඳව ඉදිරි සතිවලදී සාකච්ඡාවට භාජනය කරන බවද ප්‍රිමියර් ලීගයේ වෛද්‍ය උපදේශක මාක් ජිලට් මහතා කියා සිටියේය.
 
කෙසේ වුවත් ප්‍රිමියර් ලීග කණ්ඩායම්වල වෛද්‍යවරුන් සහ භෞත චිකිත්සකයන් 138 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදාගනිමින් සඳුදා කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් හරි අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් පුහුණුවීම්වලට නැවත පැමිණීම සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බවයි.

-036


අදහස් (0)

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණුවීම් ආරම්භ කිරීමට එකඟතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.