Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දඬුවම් පහරින් පොලිසියට ජය

දඬුවම් පහරින් පොලිසියට ජය

නාමල් පතිරගේ - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඬුවම් පහරෙන් අවසන් මහ තරගයට තේරුණු පොලිස් ක්‍රීඩා සමාජය එය දඬුවම් පහරෙන්ම ජය ගනිමින් වසර  2019 අන්තර් සමාජ වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන හිමිකර ගත්තේය. අද (7) රාත්‍රියේ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී නිමාවට පත්වූ එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයේදී දඬුවම්  පහර  5-4 කට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ පොලිස් ක්‍රීඩකයෝ එහිදී දිනාගත් ත්‍යාග මුදල රුපියල්  750000කි.

එෆ්.ඒ. කුසලාන 1948 දී ආරම්භ වීමෙන් පසුව එය 16 වතාවක්ම දිනා ඇති සෝන්ඩර්ස් කණ්ඩායමට ඊයේ  එම  පරාජයත් සමග සිදුවූයේ පිට පිටම දෙවැනි වසරටත් අනුශූරතාවෙන්  සෑහීමට පත්වීමටය.

හත්දහසකට අධික  පාපන්දු ලෝලීන් පිරිසක් ඉදිරියේ ඊයේ රාත්‍රියේ පැවැති එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගය ඉතා තියුණු මුහුණුවරක් නිමාවේ නියමිත කාලය ගෙවී ගියේ ගෝල  1-1ක් ලෙස විසඳුමකින් තොරවය.

මොහොමඩ් සුපැයික් 50 වැනි විනාඩියේදී ඉහළින් එල්ල කළ අලංකාර පැති පහරකින් පොලිස් කණ්ඩායම සිය ගෝලය වාර්තා කළේය.  එහෙත් තවත් විනාඩි තුනක් ඉක්ම යාමත් සමගම ඔවුන්ගේ ගෝල රකින්නාගේ නීති විරෝධී හැසිරීමකින් සෝන්ඩර්ස් කණ්ඩායමට ප්‍රදානය වූ නිදහස් පහර ගෝලයක් බවට පරිවර්තනය කළේ ක්‍රිෂාන්ත අබේසේකර විසිනි.

එම තත්ත්වය හමුවේ තරගය යළිත් දෙපිලටම විවෘත වුණි. අවසානයේදී තමන් අතින් සිදුවූ අතපසුවීමට වඩාත් සාධාරණයක් ඉෂ්ට කළ පොලිස් දැල් රකින්නා වූ මහේන්ද්‍රන් දිනේෂ් සෝන්ඩර්ස් කණ්ඩායමට ප්‍රදානය වුණු දඬුවම් පහර  පහෙන් තීරණාත්මකව එක් පහරක් වළක්වා ගනිමින් 2019 එෆ්.ඒ. කුසලාන තරගාවලියේ දක්‍ෂතම ගෝල රකින්නාට හිමි “රන් අත් ආවරණ” සම්මානයද දිනා ගත්තේය.

මෙම ක්‍රීඩකයාගේ විශේෂත්වය අද අවසන් මහ තරගයේදී ප්‍රතිවාදියා වූ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය කලක් නියෝජනය කළ අයෙකු වීමයි.

සෝන්ඩර්ස් ක්‍රීඩක තරුෂ රංගනගේ නිදහස් පහර පොලිස් දැල් රකින්නා වළක්වා ගැනීමත් සමග වසර 2008 න් පසුව පළමු වතාවට පොලිස් ක්‍රීඩා සමාජය පුහුණුකරු මහින්ද ගලගෙදර මහතාගේ මගපෙන්වීමෙන් එෆ්.ඒ. කුසලාන දිනාගැනීමේ මග හෙළිකර ගත්තේය.

ඒ අනුව වසර 20 ක් පුරා එෆ්.ඒ. කුසලාන නැවතත් හිමිකර ගැනීමට සෝන්ඩර්ස් කණ්ඩායම දැරු උත්සාහය ඊයේ රාත්‍රියේත් අසාර්ථක විය. ඒ පිළිබඳව එහි පුහුණුකරු මංජුල සිරිසේන මහතා පැවසුවේ වැටුප් හෝ දීමනා කිසිවක් නොලබන ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් පිරිසකගේ උත්සාහය අවසානයේ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය අනුශූරතාව ලැබීමත් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.

මෙවර තරගාවලියේ දී වැඩිම ගෝල ගණනක් ලැබූ (6) ගාල්ල රෙඞ්රෝස් කණ්ඩායමේ මොහොමඞ් පහීල් දක්ෂතම ක්‍රීඩකයාටත්, නැගී එන ක්‍රීඩකයාට පොලිස් ක්‍රීඩක එම්.ජේ.ආර්. මොහොමඩ් ද රන් පන්දුව සම්මානය සෝන්ඩර්ස් කණ්ඩායමේ සුන්දරරාජ් නිරේෂ්ට ද හිමි වූහ.

පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත් වූයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගියවර ශූරතාව දිනූ යුදහමුදා කණ්ඩායම පරාජය කරමිනි. පොලිස් ක්‍රීඩකයන්ට එසේ පරාජය වූ යුදහමුදා ක්‍රීඩා සමාජය පසුගිය 2016-17-18 යන වසර තුනේදීම පිට පිටම එෆ්.ඒ. කුසලාන දිනූ කණ්ඩායමයි.

ප්‍රධාන විනිසුරු කේ.එල් වීරක්කෝඩි මහතා වෙතින් පොලිස් ක්‍රීඩකයක් සිවු දෙනකු හා සොන්ඩස් ක්‍රීඩකයන් දෙදෙනකු මෙම තරගයේදී දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබීය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

දඬුවම් පහරින් පොලිසියට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.