Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඔත්තුකරුවාගේ දුරකතන ඇමතුම

ඔත්තුකරුවාගේ දුරකතන ඇමතුම

editorial - 2019 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැකසුම : දමින්ද විජේසූරිය

කටාරය, මැද පෙරදිග කාන්තාර රාජ්‍යයන් අතරේ, බටහිර ආසියාවේ පිහිටි, වර්ග කිලෝ මීටර 11,581 ක් වූ, ඉතා කුඩා රාජ්‍යයකි. මුහුදට නෙරා ගිය අර්ධද්වීපයක් වන කටාරයේ ජනගහණය යන්තම් ලක්ෂ 26 ඉක්මවයි.

වර්තමානයේදී ස්වභාවික ගෑස් සහ තෙල් සම්පත් බහුල රටක් වන නමුත් තෙල් සොයාගැනීමට පෙර කටාරයේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මුතු පර සොයා යාමයි.

ජපනුන් විසින් පාලනය කරනු ලබන තත්ත්වයන් යටතේ මුතු බෙල්ලන් බෝ කිරීම ආරම්භ කිරීමත් සමගින් කටාරයේ මුතු වෙළඳාම එකතැන කඩා වැටිණ. එහෙත් 1940 දී තෙල් සම්පත් සොයාගැනීමත් සමගින් කටාරයේ ආර්ථික තත්ත්වය වෙනස් විය. මේ වන විට ලෝකයේ ධනවත්ම රාජ්‍යයන් අතුරින් එකක් වන කටාරය, ලෝකයේ බදු ගෙවීම් අඩුම රටවල් අතුරින් ද එකකි.

වසර 6 කට ඉහතදී කටාරයේ විරැකියාව 1000 කට 1 ක් විය. එවන් රටකට 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දීමට පැකිළෙන්නේ කවුරුන්ද ?

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී, එවකට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාව සිටි සෙප් බ්ලැටර් මහතා විසින් 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාරයට පැවරූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි. ඒ වන විට අතුරු සිදුරු නැතිව පිරී තිබූ ශ්‍රවණාගාරය පුරා පැතිර ගියේ හිරිගඩු පිපෙන නිශ්ශබ්දතාවකි. අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයෝ කිසිවක් ඇදහිය නොහැකිව, වික්ෂිප්ත මුහුණු වලින් එකිනෙකා දෙස බලද්දී කටාරයේ රාජකීය පවුලේ සාමාජිකයෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්වූහ.

කෙසේ වෙතත් රටවල් 5 ක් අතරේ පැවැති තරගය එතෙකින් අවසන් විය. එම රටවල් අතුරින් රටවල් 8 ක් මාස ගණනාවක් තිස්සේ කළ පෙළඹවීඹ් මෙන්ම ප්‍රවර්ධනය කිරීම් ද නිමාවිය. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාරයට නිල වශයෙන් හිමිවී තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසුව, ලෝකයේ පැවැත්වෙන අති දැවැන්තම ක්‍රීඩා උළෙල වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඔවුනට අහිමි වී තිබේ. ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් වන මෙම තරගාවලියේ සත්කාරකත්වය දිනාගැනීම යනු කිසිදා මිල කළ නොහැකි කීර්තියකි.

යටිතල පහසුකම් තියෙන්නට නම් අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් තිබිය යුතුය. එහෙත් කටාරයට පාපන්දු සම්ප්‍රදායක් නොතිබිණ. කටාරයේ පාපන්දු පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රබලයෝ පවා පිටරටින් පැමිණි අය වූහ.

ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ යන රටකට දීර්ඝ වශයෙන් පාපන්දු ක්‍රීඩාවේ නිරත වීම අසිරු කාරණයකි. එසේ වුවත් පාපන්දු ක්‍රීඩාවේ මහා සම්ප්‍රදායයන් නැති, දීර්ඝ කාලීන පාපන්දු ඉතිහාසයක් නැති, පාපන්දු වෙනුවෙන්ම සකස් කරන ලද ක්‍රීඩාංගණ සහ පුහුණුවීම් පහසුකම් නොතිබූ කටාරයට එය පිරිනැමුණු ආකාරය ප්‍රබල රටවලට මහත් ප්‍රහේළිකාවක්ම වූයේය.

2022 ලෝක කුසලාන තරගාවලිය ලබාගැනීම සඳහා කටාරයට වඩා ඉහළ ළංසු ඉදිරිපත් කළ ලෝක පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන් වික්ෂිප්තව බලා සිටියේ සිදුවූයේ කුමක්ද යන්න අදහාගත නොහැකිවය. එහෙත් ශ්‍රවණාගාරයේ සිටි එක් අයෙක් නම් උත්තරය හරියටම දැනගෙන සිටියේය.

රාජකීය පවුලේ සාමාජිකයන්ගේ උද්දාමය කෙමෙන් මැකී යන්නට ඉඩදුන් කටාර් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ මොහොමඞ් බින් හමාම්, හෙමින්ම ගොස් කටාරයේ එමීර්වරයා වැළඳගත්තේය. පසුව එහි සිටි තරුණ ෂෙයික්වරයාගේ නලලත සිප ආචාර කරමින් සිය රටට අත්වූ කීර්තිය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම් මාලාව සියැසින් දැකගත් අයකු වුවද, කටාරයේ පාපන්දු ලොක්කාට ඒ තරම් දෙයක් කළ හැකිවේ යයි නොසිතනු ඇත. කටාරයේ එමීර්වරයා මෙන් ලෝගුවකින් සැරසී නොසිට, සාමාන්‍ය  යුරෝපීය ඇඳුමින් සැරසී සිටි මේ හුරුබුහුටි තැනැත්තාට තිබූ බලය අසීමිත වූ නමුත් කිසිවකුට ඒ ගැන උපකල්පනය කළ නොහැකි විය. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරය බාරදිය යුත්තේ කිනම් රටකට යන්න සම්බන්ධයෙන් කටයුතු කළ කමිටුව පවා බින් හමාම්ගේ තිරෙන් පිටුපස භූමිකාව සම්බන්ධයෙන් සැක නොකළේය.

ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ නම් 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාරයට දිනා දුන් තැනැත්තා අන් කිසිවකු නොව කටාර් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ මොහොමඞ් බින් හමාම්ය.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරය කටාරයට හිමිවීම සම්බන්ධයෙන් බොහෝ විවේචන, පරීක්‍ෂණ මෙන්ම චෝදනාත් එල්ල වූ නමුත් බින් හමාම් සම්බන්ධ රහස් සියල්ලම මැනවින් සැඟවී තිබිණ.

2014 දී, ලෝක කුසලාන තරගාවලියේ සත්කාරය දිනාගැනීමෙන් වසර 3 කට පමණ පසුව, ලන්ඩන් නුවර ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ විමර්ශන ඒකකයේ මාධ්‍යවේදියකුට දුරකතන ඇමතුමක් ලැබිණ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ඉහළම තලයේ තැනැත්තකු වූ ඔහුගේ කටහඬ හුරු පුරුදු එකක් විය. ඔහු සූදානම් වූයේ දිගු කලක් වසංවී තිබූ තොරතුරු රැසක් හෙළිදරව් කිරීමටය.

මාධ්‍යවේදීන් දෙදෙනකු ලන්ඩන් නුවර හෝටලයකදී හමුවීමට ඔහු එකඟ විය. නියමිත දිනයේදී මාධ්‍යවේදීන් හමුවූ ඔහු ලන්ඩන් නුවරින් බොහෝ ඈත පිහිටි රහසිගත ස්ථානයක් කරා ඔවුන් කැඳවාගෙන ගියේය. අනතුරුව සුපිරි පරිගණක ජාලයක, නිධානයක් සේ සඟවා තිබූ ලේඛණ ගිණිය නොහැකි සංඛ්‍යාවක් මාධ්‍යවේදීන් හමුවේ නිරාවරණය කෙරිණ. ඒවායින් වැඩිහරියක තිබුණේ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාරයට දිනාගැනීමේ ක්‍රියාකාරි කමිටුවේ ලේකම්වරයා වූ බින් හමාම්ට සම්බන්ධ සිදුවීම්ය. ඔහුගේ ගනුදෙණු සම්බන්ධයෙනි.

එතැන් සිට මාස තුනක කාලයක් තිස්සේ වෙස්වළා ගත් මාධ්‍යවේදීන් දෙදෙනා දිවා රැ නැතිව එහි තිබූ තොරතුරු පිටපත් කරගැනීමට පියවර ගත්හ. ජනප්‍රිය වීදියක සාප්පුවක් පිටුපස තිබූ මෙම ස්ථානයේ එවන් යමක් සිදුවේ යයි කිසිවකු අනුමාන නොකළේය.

හෙළිදරව් කරන ලද තොරතුරු වල ප්‍රමාණය ඇදහිය නොහැකි තරම් විශාල විය.

තොරතුරු හෙළිදරව් කිරීමට ඉදිරිපත් වූ තැනැත්තා, විද්යුත් ලිපි, ෆැක්ස්, දුරකතන ඇමතුම් අනුපිළිවෙල, වෙනත් විද්යුත් පණිවුඩ, ලිපි, බැංකු තැන්පතු පිටපත්, ගිණුම් අංක, මුදල් ඉල්ලා යැවූ කෙටි සටහන්, අතින් ලියූ සටහන්, ගුවන් යානා වෙන්කරගැනීම්, රසාභ්‍ය වාර්තා, දිනපොත්, පරිගණක දෘඩ තැටි ආදී මෙකී නොකී බෙහෝ දේවලට පිවිසිය හැකි මුරපද මෙන්ම ඒවා සඟවා තිබූ තැන්වල යතුරු පවා මාධ්‍යවේදීන් දෙදෙනා අත පත්කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරියා පියවර ගෙන තිබිණ.

මේ සියල්ලම බින් හමාම් සිය ලෝක කුසලාන මෙහෙයුම කළ මධ්‍යස්ථානයේ තනි දොරටුව විය. තමන්ගේ කාරිය කරගත් පසුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලොක්කා වූ සෙප් බ්ලැටර් බලයෙන් පහකිරීමට බින් හමාම් යොදාගත්තේද මෙම තොරතුරු සමුදායයි.

අන්තර්ජාතික වාර්තා ඇසුරිනි


අදහස් (0)

ඔත්තුකරුවාගේ දුරකතන ඇමතුම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.