Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

නාමල් පතිරගේ - 2019 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර් - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් තේරීමේ ආසියානු කලාප දෙවැනි වටයේ පස්වැනි තරගයෙන්ද ශ්‍රී ලංකාව ගෝල 2-0 ක පරාජයක් ලැබීය. එම තරගය සත්කාරක තුර්ක්මෙනිස්තානු පිල හමුවේ අද (19) ඇස්ගාබට් නුවරදී පැවැත්වුණි.

පළමු භාගය නිමාවට විනාඩියක් පමණක් ඉතිරිව තිබියදී 44 වැනි විනාඩියේදී ආබේදි බයිටෝව් රැස්කළ ගෝලයෙන් විවේකය සඳහා තරගය අත්හිටුවන විට තුර්ක්මෙනිස්ථානය ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

නැවැත 59 වැනි විනාඩියේදී ආදේශ ක්‍රීඩක මිකායිල් ටිවොඞ් ලබාගත් දෙවැනි ගෝලයෙන් තුර්ක්මෙනිස්ථානය මෙම තරගයේදී තහවුරු කරගත්තේය. ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ වටයේදී ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට පරාජය වූ දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය සැප්තැම්බර් 5 වැනිදා කොළඹදී පැවැති තරගයෙන්ද ශ්‍රී ලංකාව ගෝල 2-0 ක පරාජයක් ලැබීය.

ඇස්ගාබට් නුවරදී අද තරගය නිමාවට පත්වීමත් සමග 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයේදී තරග 5 කදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රතිවාදීන් ගෝල 16 ක් රැස් කිරීමට සමත්ව තිබේ. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කර නොමැතිවීම කැපී පෙනෙන සිදුවීමකි.

“එච්” කාණ්ඩයෙන් ආසියානු කලාප දෙවැනි වටයට මුහුණ දෙන ශ්‍රී ලංකාව අද වනවිට ප්‍රසාද ලකුණු සටහන් පසුවූයේ කිසිදු ප්‍රසාද ලකුණක් නොමැතිවය.

උතුරු කොරියාව (1-0), දකුණු කොරියාව (8-0), ලෙබනනය (3-0) මීට පෙර මෙම තරග වටයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූ සෙසු තරගයි. එහි තවත් ආසන්නම තරගයට ශ්‍රී ලංකාව මුහුණදීමට ඇත්තේ ලබන වසරේ මාර්තු 26 වැනිදාය. එහි සත්කාරය දරන්නේ උතුරු කොරියාවයි.

අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමත් සමග තුර්ක්මෙනිස්ථානය එච් කාණ්ඩයේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභියා වෙමින් (9) එහි පෙරමුණේ පසුවේ. ඒ තරග පහකදී තුනක ජය වාර්තා කරමිනි. ඉන් තරග දෙකකම ජය ශ්‍රී ලංකාවට එරෙහිවය.

දෙපිලේම ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් තුන බැගින් වාර්තා වූ අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මොහොමඞ් අමාන් හා අහමඞ් වසීම් රසීන් විනිසුරු කටාර් ජාතික සවුද් අල් අන්බහා මහතා වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ලැබීය.

ඇස්ගාබට් නුවර කොසෙට්ඩෑග් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා 26300 ක ජනකායක් පැමිණ සිටියහ.

ලබන මාර්තු 31 වැනිදා දකුණු කොරියාවට එරෙහිවද, ජුනි 4 වෙනිදා ලෙබනනයට එරෙහිවද ශ්‍රී ලංකාව මෙම තරග වටයේ සෙසු තරග සඳහා සහභාගිවීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.